11.
අර්‍ත්‍ථය කාරණ කොට ඇත්තාහු භජනය කෙරෙති සේවනය ද කෙරෙති. (අර්‍ත්‍ථ ප්‍රතිලාභ කාරණයෙන්) නිෂ්කාරණ වූ ආර්යමිත්‍රයෝ දුර්‍ලභ වෙති. ආත්මාර්‍ත්‍ථයෙහි ප්‍රඥා ඇති මනුෂ්‍යයෝ අපවිත්‍ර වූ කායකර්‍මාදියෙන් යුක්ත වූවාහු යැ. (එහෙයින්) කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
භජන්ති සෙවන්ති ව කාරණත්වා යනු: ආත්මාර්‍ත්‍ථ හේතුයෙන් පරාර්ථ හේතුයෙන් උභයාර්ථ හේතුයෙන් ඓහලෞකිකාර්ථ හේතුයෙන් පාරලෞකිකාර්ථ හේතුයෙන් භජනය කෙරෙති, මොනොවට භජනය කෙරෙති සේවනය කෙරෙති නිරතුරු සේවනය කෙරෙති සංසෙවනය කෙරෙති ප්‍රතිසේවනය කෙරෙත් නුයි ‘භජන්ති සෙවන්ති ව කාරණත්‍ථා”යනු වේ.
නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා යනු: අගාර්‍ය්‍යමිත්‍ර ද ප්‍රව්‍රජිතමිත්‍ර දැ යි මිත්‍රයෝ දෙදෙනෙකි . . . මේ ප්‍රව්‍රජිත මිත්‍ර යි. නික්කාරණ දුල්ලභා අජ්ජමිත්තා- මේ උභයමිත්‍රයෝ (අර්‍ත්‍ථත් ප්‍රතිලාභහේතුයෙන්) අකාරණ වූවාහු නිෂ්කාරණ වූවාහු අහේතු අප්‍රත්‍යය වූවාහු දුර්‍ලභ වෙති. දුක සේ ලැබිය හැකි වෙති. අතිශයින් දුක සේ ලැබිය හැකි වෙත් නුයි” නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා”යනු වේ.
අත්තත්ථ පඤ්ඤා අසුචී මනුස්සා. – ‘අත්තත්ථපඤ්ඤා’ යනු: තම හට වැඩ පිණිස ආත්මහේතුයෙන් ආත්ම ප්‍රත්‍යයෙන් ආත්මකාරණයෙන් භජනය කෙරෙහි සංභජනය කෙරෙති සේවනය කෙරෙති නිස්සේවනය කෙරෙති සංසේවනය කෙරෙති ප්‍රතිසේවනය කෙරෙහි හැසිරෙති මැනැවින් හැසිරෙති පර්‍ය්‍යුපාසනය කෙරෙති පුළුවුස්ති ප්‍රශ්න කෙරෙත් නුයි ‘අත්තත්ථ පඤ්ඤා’ යනු වේ. අසූචි මනුස්සා යනු: අපවිත්‍ර වූ කාය කර්‍මයෙන් සමන්‍විත වූවාහු නුයි ‘අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ වාක්කර්‍මයෙන් සමන්‍විත වූවාහු නුයි ‘අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ මනඃකර්‍මයෙන් සමන්‍විත වූවාහු නුයි අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ ප්‍රාණ වධයෙන්- අපවිත්‍ර වූ අදත්තාදානයෙන් - අපවිත්‍ර වූ කාමමිථ්‍යාචාරයෙන්- අපවිත්‍ර වූ මෘෂාවාදයෙන්- අපවිත්‍ර වූ පිශුනවචනයෙන් අපවිත්‍ර වූ පරුෂ වචනයෙන්- අපවිත්‍ර වූ පලාපවචනයෙන්- අපවිත්‍ර වූ අධ්‍යයෙන් - අපවිත්‍ර වූ ව්‍යාපාදයෙන් යුක්ත වූවාහුනු යි. ‘අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූවාහු නුයි ‘අසුචී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ චේතනායෙන් යුක්ත වූවාහු නුයි අසුවී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ ප්‍රාර්‍ත්‍ථනයෙන් යුක්ත වූවහු නුයි ‘අසුචී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ ප්‍රණිධියෙන් යුක්ත වූවාහු නුයි ‘අසුචී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූවාහු හිත වූවාහු නිහීන වූවාහු අවම වූවාහු ලාමක වූවාහු අප්‍රත්‍යය වූවාහු අල්ප වූවාහුනුයි ‘අත්තත්ථ පඤ්ඤා අසුවීමනුස්සා’ යනු වේ.
ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො - “ඒකෝ” යනු: ඒ පසේබුදුහු ප්‍රව්‍රජ්‍යා කොටසිහ ඒකයන ... චරෙ යනු: චර්‍ය්‍යා අටෙකි: ... ඛග්ගවිසාණකප්පො යනු: යම් සේ කගවෙහෙණ නම් මෘගයාගේ හඟ එකෙක් මැ වේ ද අද්විතීය වේ ද ... ‘ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ එ පසේ බුදුහු:
“හජන්ති සේවන්ති ච කාරණත්වා -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
සතර වැනි වර්‍ග යි.
ඛග්ගවිසාණ සූත්‍ර නිර්‍දෙශය නිමියේ යි.
1. අජිත යැ තිස්ස මෙත්තෙය්‍ය යැ පූර්‍ණක යැ යළි මෙත්තගූ යැ ධෝතක යැ උපසීව යැ නන්‍ද යැ යළි හේමක යැ.
2. තෝදෙය්‍ය - කප්ප දෙදෙනා යැ පණ්ඩිත වූ ජතුකර්ණි යැ භද්‍රාවුධ යැ උදය යැ පෝසාල බ්‍රාහ්මණ යැ නුවණැති මෝඝරාජ යැ. මහර්ෂි වූ පිඞ්ගිය යැ යන -
3. මේ සොළොස් බමුණනට අනුශාසන ද (එ මැ) පාරායණ සූත්‍රයන්ගේ නිර්දේශ ද එතෙක් මැ වෙති.
4. තවද එසේ මැ ඛග්ගවිසාණ සූත්‍රයන්ගේ නිර්දේශ දැ යි සපුරා දක්වන ලද නිර්දේශයෝ ද්විප්‍රකාරහ යි දත යුත්තා හ.
සුළු නිදෙස් පෙළ නිමි.