11. 4.
අතීතයෙහි යම් සංස්කාරයෙක් වී නම් එය වියළව අනාගත සංස්කාරය තට නහමක් කිඤ්චන (පළිබෝධ) වේවා, ඉදින් ප්‍රත්‍යුත්පන්න සංස්කාරයන් තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ගන්නෙහි නම් නිවුණෙක් වැ හැසිරෙන්නෙහි.
යං පුබ්බේ තං විසොසෙහි යනු: අතීත සංස්කාරයන් ඇරැබ යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම් ඒ කෙලෙසුන් වියළව වෙසෙසින් වියළව ශුෂ්ක බවට පමුණුව වෙසෙසින් ශුෂ්ක බවට පමුණුව බීජාභාවය කරව හැරපියව දුරු කරව විගතාන්ත කරව අනුඅභාවයට පමුණුව නුයි මෙසේත් ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ. නොහොත් අතීත වූ නො පැසුණු විපාක ඇති යම් කර්මාභිසංස්කාර කෙනෙක් වෙත් නම් ඒ කර්මාභිසංස්කාරයන් වියළව වෙසෙසින් වියළව ශුෂ්ක බවට පමුණුව වෙසෙසින් ශුෂ්ක බවට පමුණුව බීජාභාවය කරව හැරපියව දුරලව විගතාන්ත කරව අනු අභාවයට පමුණුව නුයි මෙසේත් ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ.
පච්ඡා තෙ මාහු කිඤ්චනං - ‘පච්ඡා’යි අනාගතය කියනු ලැබෙයි. අනාගත සංස්කාරයන් ඇරැබැ යම් කිඤ්චන කෙනෙක් උපදනාහු ද: රාගකිඤ්චන යැ ද්වේෂ කිඤ්චන යැ මෝහ කිඤ්චන යැ මාන කිඤ්චන යැ දෘෂ්ටිකිඤ්චන යැ ක්ලේශ කිඤ්චන යැ දුශ්චරිත කිඤ්චන යි. මේ කිඤ්චනයෝ තට නහමක් වෙත්වා නහමක් කරව නහමක් උපදව නහමක් මොනවට උපදව නහමක් නිපදව නහමක් වෙසෙසින් නිපදව හැරපියව දුරලව විගතාන්ත කරව අනු අභාවයට පමුණුව නුයි ‘පච්ඡා තෙ මාහු කිඤ්චනං’ යනු වේ.
මජ්ඣෙ චෙ නො ගහෙස්සසි - ‘මජ්ඣෙ’යි ප්‍රත්‍යුත්පන්න (වර්‍තමාන) වූ රූපය වේදනාව සංඥාව සංස්කාර විඥානය කියනු ලැබෙයි. ප්‍රත්‍යුත්පන්න සංස්කාරයන් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නො ගන්නෙහි ග්‍රහණය නො කරන්නෙහි පරාමර්‍ශ නො කරන්නෙහි නො තුටු වන්නෙහි අභිනන්‍දන නො කරන්නෙහි නො ගිලගන්නෙහි අභිනන්‍දනය අභිවදනය අජ්ඣොසානය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය හැරපියන්නෙහි දුරලන්නෙහි විගතාන්ත කරන්නෙහි අනු අභාවයට පමුණුවන්නෙහි නුයි ‘මජ්ඣෙ චෙ නො ගහෙස්සසි’ යනු වේ.
උපසන්තො චරිස්සසි යනු: රාගය සන්හුන් බැවින් ශමනය කරන ලද බැවින් ව්‍යුපශමනය කරනලද බැවින් ද්වේෂය ... හැම අකුශලාභි සංස්කාරයන් සන්හුන් බැවින් ශමනය කරනලද බැවින් ව්‍යුපශමනය කරනලද බැවින් නිවනලද බැවින් නිවුණු බැවින් පහවූ බැවින් සන්හිඳුවන ලද බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ ව්‍යුපශාන්ත වූයේ නිවියේ සන්හිඳුවන ලද්දේ හැසිරෙන්නෙහි වාස කරන්නෙහි ඉරියවු පවත්වන්නෙහි වැටෙන්නෙහි පාලනය කරන්නෙහි යැපෙන්නෙහි යාපනය කරන්නෙහි නුයි ‘උපසන්තො චරිස්සසි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යං පුබ්බේ තං -පෙ- උපසන්තො චරිස්සසි” යී.