11. 3.
(බුදුහු මෙසේ වදාළහ: ජතුකණ්ණි මාණවකය,) නෛෂ්ක්රම්යය ක්ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරු කරව, තෘෂ්ණා දෘෂ්ටි විසින් ගන්නා ලද්දෙක් හෝ හළ යුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ නහමක් තොපට වේවා.
කාමෙසු විනය ගෙධං - ‘කාමා’ යනු: විස්තර විසින් කාම දෙකෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. ‘ගේධ’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. කාමෙසු විනය ගෙධං යනු: කාමයෙහි තෘෂ්ණාව දුරු කරව වෙසෙසින් දුරු කරව හැර පියව විනෝදනය කරව විගතාන්ත කරව අනු අභාවයට පමුණුව යි ‘කාමෙසු විනය ගෙධං’ යනු වේ. ජතුකණ්ණීති භගවා - ‘ජතුකණ්ණි’ යනු: බුදුහු එ බමුණු ගෝත්රයෙන් අමතති. භගවා යනු: තෙල ගෞරවනාම යැ ... මේ ‘භගවා’ යනු අර්හත්ඵල ප්රත්යක්ෂයෙන් උපන් ප්රඥප්තියෙක් නුයි ‘ජතුකණ්ණී’ ති භගවා’ යනු වේ.
නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො- ‘නෙක්ඛම්මං’ යනු: සම්යක් ප්රතිපදාව අනුලෝම ප්රතිපදාව අවිරුද්ධ ප්රතිපදාව අන්වර්ත්ථ ප්රතිපදාව ධර්මානුධර්ම ප්රතිපදාව ශීලයන්හි සපුරා කරන බව ඉන්ද්රියයන්හි පියන ලද දොර ඇති බව වැළඳීමෙහි පමණ දන්නා බව ජාගර්ය්යානුයෝගය ස්මෘති සම්ප්රජන්යය සතර සතිපට්ඨානයන් සතර සම්යක් ප්රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චේන්ද්රියයන් පඤ්චබලයන් සප්තබෝධ්යඞ්ගයන් ආර්ය්ය අෂ්ටාඞ්ගික මාර්ගය නිර්වාණය ද නිර්වාණගාමී ප්රතිපදාව ද ක්ෂේම හෙයින් ත්රාණ හෙයින් ලෙන හෙයින් සරණ හෙයින් අභය හෙයින් අච්යුත හෙයින් අමෘත හෙයින් නිර්වාණ හෙයින්, දට්ඨුං - දැක තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්රකට කොට නුයි ‘නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො’ යනු වේ.
උග්ගහිතං නිරත්තං වා - ‘උග්ගහිතං’ යනු: තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නා ලද පරාමර්ශනය කරන ලද ඇතුළත පිවිසුණු ගිලගන්නා ලද අධිමුක්ත වූ, නිරත්තං වා යනු දුරු කළ යුතු මුදා හළ යුතු පරිත්යාග කළ යුතු විනෝදනය කළ (දැමිය) යුතු විගතාන්ත කළ යුතු අනු අභාවයට පැමිණවිය යුතු නුයි ‘උග්ගහිතං නිරත්තං වා’ යනු වේ.
මා තෙ විජ්ජිත්ථ කිඤ්චනං යනු: රාග කිඤ්චනය ද්වේෂ කිඤ්චනය මෝහ කිඤ්චනය මාන කිඤ්චනය දෘෂ්ටි කිඤ්චනය ක්ලෙශකිඤ්චනය දුශ්චරිත කිඤ්චනය යන මේ කිඤ්චනය (පළිබෝධය) නහමක් තට වේවා! නහමක් මොනොවට වේවා! හැරපියව දුරලව විගතාන්ත කරව අනුඅභාවයට පමුණුව නුයි ‘මා තෙ විජ්ජිත්ථ කිඤ්චනං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“කාමෙසු විනය ගෙධං -පෙ- මා තෙ විජ්ජිත්ථ කිඤ්චනං” යි.
11. 4.
අතීතයෙහි යම් සංස්කාරයෙක් වී නම් එය වියළව අනාගත සංස්කාරය තට නහමක් කිඤ්චන (පළිබෝධ) වේවා, ඉදින් ප්රත්යුත්පන්න සංස්කාරයන් තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ගන්නෙහි නම් නිවුණෙක් වැ හැසිරෙන්නෙහි.
යං පුබ්බේ තං විසොසෙහි යනු: අතීත සංස්කාරයන් ඇරැබ යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම් ඒ කෙලෙසුන් වියළව වෙසෙසින් වියළව ශුෂ්ක බවට පමුණුව වෙසෙසින් ශුෂ්ක බවට පමුණුව බීජාභාවය කරව හැරපියව දුරු කරව විගතාන්ත කරව අනුඅභාවයට පමුණුව නුයි මෙසේත් ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ. නොහොත් අතීත වූ නො පැසුණු විපාක ඇති යම් කර්මාභිසංස්කාර කෙනෙක් වෙත් නම් ඒ කර්මාභිසංස්කාරයන් වියළව වෙසෙසින් වියළව ශුෂ්ක බවට පමුණුව වෙසෙසින් ශුෂ්ක බවට පමුණුව බීජාභාවය කරව හැරපියව දුරලව විගතාන්ත කරව අනු අභාවයට පමුණුව නුයි මෙසේත් ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ.