11. 2.
යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ තෙද ඇති හිරු තෙදින් පෘථිවිය සෙයින් කාමයන් මැඩලා වාසය කරන සේක් ද, එහෙයින් මහාප්‍රාඥයන් වහන්ස, මෙහි මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැන ගන්නෙම් නම් ඒ දහම මඳ නුවණැති වූ මට වදාළ මැනැව.
භගවා හි කාමෙ අභිභූය්‍ය ඉරීයති- ‘භගවා’ යනු: ගෞරවනාම යැ... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්ති යැ. කාමා යනු: විස්තර විසින් වස්තුකාම ද ක්ලේශකාම දැ යි කාම දෙකෙකි... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. බුදුහු වස්තු කාමයන් පිරිසිඳ දැන ක්ලේශකාමයන් දුරු කොට මැඩ මැඩලා ගෙවා මර්දනය කොට සරති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘භගවා හි කාමෙ අභිභූය්‍ය ඉරීයති’ යනු වේ.
ආදිච්චොව පඨවිං තෙජි තෙජසා - ‘ආදිච්ච’ යි සූර්‍ය්‍යයා කියනු ලැබෙයි. ‘පඨවී’ යි පොළොව කියනු ලැබෙයි. යම්සේ තේජස් ඇති සූර්‍ය්‍ය තෙම තේජසින් සමන්‍වාගත වූයේ පොළොව මැඩ අභිභවනය කොට යට කොට ගෙන හාත්පසින් මැඩගෙන තවා ආකාශගත වූ සියලු තමස නසා අන්‍ධකාරය විධමනය කොට ආලොකය දක්වා අහස්හි අන්තරීක්‍ෂයෙහි ගුවන්මඟ වේගයෙන් යේ ද එසෙයින් මැ බුදුහු ඥානතෙජස් ඇත්තාහු ඥාන තේජසින් සමන්‍වාගත වූවාහු හැම අභිසංස්කාර සමුදය ... කෙලෙස් තමස අවිද්‍යාන්‍ධකාරය විධමනය කොට ඥානාලෝකය දක්වා වස්තු කාමයන් පිරිසිඳ දැන ක්ලේශකාමයන් දුරු කොට මැඩ අභිභවනය කොට යට කොට හාත්පසින් මැඩගෙන මර්දනය කොට සරති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘ආදිච්චොව පඨවිං තෙජි තෙජසා’ යනු වේ.
පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ යනු: මම් මඳ නුවණ ඇතියෙමි පහත් නුවණ ඇතියෙමි ලාමක ප්‍රඥා ඇතියෙමි බොළඳ නැණ ඇතියෙමි, මුඹ වහන්සේ වැළිත් මහනුවණ ඇතියව්හු පුළුල්නුවණ ඇතියව්හු වහා වැටහෙන නුවණ ඇතියව්හු දිවෙන නුවණ ඇතියව්හු තියුණු නුවණ ඇතියව්හු විනිවිද දක්නා නුවණ ඇතියව්හු යැ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍වාගතහ’යි ‘පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ’ යනු වේ.
ආචික්‍ඛ ධම්මං යමහං විජඤ්ඤං - ‘ධම්මං’ යනු: ආදියෙහි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ අවසානයෙහි කල්‍යාණ වූ (අර්ත්ථසම්පත්තියෙන්) සාර්‍ත්‍ථ වූ (බ්‍යඤ්ජන සම්පත්තියෙන්) සව්‍යඤ්ජන වූ සියල්ල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යාව ද සතර සතිපට්ඨානයන් ද ... නිර්‍වාණය ද නිර්වාණගාමීප්‍රතිපදාව ද වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව පාළ කළ මැනැව ප්‍රකාශ කළ මැනැව. යමහං විජඤ්ඤං යනු: යම් දහමක් මම් දැනගන්නෙම් නම් වෙසෙසින් දැනගන්නෙම් නම් ප්‍රකර්‍ෂයෙන් දැනගන්නෙම් නම් මොනොවට දැනගන්නෙම් නම් ප්‍රතිවේධ කරන්නෙම් නම් අධිගම කරන්නෙම් නම් දක්නෙම් නම් ප්‍රත්‍යක්‍ෂ කරන්නෙම් නම් නුයි “ආචික්‍ඛ ධම්මං යමහං විජඤ්ඤං” යනු වේ.
ජාතිජරාය ඉධ විප්පහානං යනු: මෙ අත්බැව්හි මැ ජාතිජරාවගේ මරණයා ගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන නුයි “ජාතිජරාය ඉධ විප්පහානං” යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“භගවා හි කාමෙ -පෙ- ජාතිජරාය ඉධ විප්පහානං” යි.
11. 3.
(බුදුහු මෙසේ වදාළහ: ජතුකණ්ණි මාණවකය,) නෛෂ්ක්‍රම්‍යය ක්‍ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරු කරව, තෘෂ්ණා දෘෂ්ටි විසින් ගන්නා ලද්දෙක් හෝ හළ යුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ නහමක් තොපට වේවා.
කාමෙසු විනය ගෙධං - ‘කාමා’ යනු: විස්තර විසින් කාම දෙකෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. ‘ගේධ’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. කාමෙසු විනය ගෙධං යනු: කාමයෙහි තෘෂ්ණාව දුරු කරව වෙසෙසින් දුරු කරව හැර පියව විනෝදනය කරව විගතාන්ත කරව අනු අභාවයට පමුණුව යි ‘කාමෙසු විනය ගෙධං’ යනු වේ. ජතුකණ්ණීති භගවා - ‘ජතුකණ්ණි’ යනු: බුදුහු එ බමුණු ගෝත්‍රයෙන් අමතති. භගවා යනු: තෙල ගෞරවනාම යැ ... මේ ‘භගවා’ යනු අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියෙක් නුයි ‘ජතුකණ්ණී’ ති භගවා’ යනු වේ.