11. 1.
(ආයුෂ්මත් ජතුකණ්ණිමාණවක මෙසේ විචාරයි:) වීරයන් වහන්ස, මම් මුඹ වහන්සේ (කාමයන් නො කැමැති හෙයින්) අකාමකාමී වූ ඕඝය ඉක්ම වූ කෙනකු යැ යි අසා නිෂ්කාම වූ භාග්‍යවතුන් පුළුවුස්නට ආයෙමි. සහජාත වූ ඥානචක්‍ෂුස ඇතියාණෙනි, ශාන්තිය හා ශාන්තිපදය (නිවන්) හා වදාළ මැනැව. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ තථ්‍ය වූ පරිදි වදාළ මැනැවි.
සුත්‍වානහං වීර අකාමකාමිං - ‘සුත්‍වා’ යනු: ඒ භාග්‍යවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ... බුද්ධයහ භාග්‍යවත්හ’ යි අසා අසාගෙන ඉගෙන විමසා සලකා නුයි ‘සුත්වානහං’ යනු වේ. වීර යනු: බුදුහු වීරයහ: වීර්‍ය්‍යවත් නුයි වීරයහ, ප්‍රභූ නු යි වීරයහ, (පරසන්තානයෙහි වීර්‍ය්‍යය උපදවන හෙයින් විසවි නුයි වීරයහ, සමර්‍ත්‍ථ සිත් ඇත්තාහු නුයි වීරයහ, ශූර නුයි වීරයහ, වික්‍රම ඇතියහ නො බානසුල්ලහ නො තැතිගන්නා සුල්ලහ උත්‍රාස රහිතයහ නො පලායනසුල්ලහ ප්‍රහීණ වූ භය හා භය අරමුණු ඇතියහ පහවූ ලොමුදැහගැනුම් ඇත්තාහු නුයි වීරයහ.
1. මෙ ලොව්හි හැම පාපයන්ගෙන් වෙන් වූයේ (එහෙයින් මැ) නිරෑදුක් ඉක්ම සිටි වීර්‍ය්‍යයට නිවාස වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. එබඳු වූයේ ප්‍රධන් වීර්‍ය්‍ය ඇත්තේ යැ වීර යැ (නිර්විකාර බැවින්) තාදී යැ යි කියනු ලැබේ නුයි.
‘සුත්වානහං වීර’ යනු වේ.
අකාමකාමිං - ‘කාමං’ යනු: විස්තර විසින් කාම දෙකෙකි: වස්තුකාම ද ක්ලේශකාම දැ යි ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. භාග්‍යවත් බුදුන් විසින් වස්තුකාමයෝ පිරිසිඳ දන්නා ලදහ. ක්ලේශකාමයෝ ප්‍රහාණය කරන ලදහ. වස්තුකාමයන් පිරිසිඳ දන්නාලද බැවින් ක්ලේශ කාමයන් ප්‍රහීණ වන බැවින් බුදුහු කාමයන් නො කැමැති වෙති. කාමයන් නො පතති. කාමයන් ඊප්සා නො කෙරෙති. කාමයන් අභිජල්පනය නො කෙරෙත්. යම් කෙනෙක් කාමයන් කැමැති වෙත් ද කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් ද කාමයන් ඊප්සා කෙරෙත් ද කාමයන් අභිජල්පනය කෙරෙත් ද ඔහු කාමකාමීහු යැ රාගරක්තයෝ යැ රාගසංඥායෙන් සංඥාවත්හ. බුදුහු කාමයන් නො කැමැති වෙති කාමයන් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙති කාමයන් ඊප්සා නො කෙරෙති කාමයන් අභිජල්පනය නො කෙරෙත්. එහෙයින් බුදුහු අකාමයහ නිෂ්කාමයහ ත්‍යක්තකාමයහ වාන්තකාමයහ මුක්තකාමයහ ප්‍රහීණකාමයහ ප්‍රතිනිඍෂ්ට (දුරු කළ) කාමයහ වීතරාගයහ විගතරාගයහ ත්‍යක්තරාගයහ වාන්ත (වමාළ) රාගයහ මුක්තරාගයහ ප්‍රහීණරාගයහ ප්‍රතිනිඍෂ්ටරාගයහ තෘෂ්ණාරහිතයහ නිවියහ සිහිල් වූහ. (කායිකචෛතසික සුවවිඳුනාසුල්ලහ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසෙත් නුයි ‘සුත්වානහං වීර අකාමකාමීං’ යනු වේ. ඉච්චායස්මා ජතුකණ්ණි - ‘ඉච්ච’ යනු: පදසන්ධි යැ... තෙල ‘ඉච්ච’ යනු පදානුපූර්‍වතා යැ. ආයස්මා යනු: ප්‍රියවචන යැ... තෙල ‘ආයස්මා’ යනු සප්‍රතිශ්‍රය නාමයෙකි. ජතුකණ්ණි යනු: එ බමුණුගේ ගෝත්‍ර යැ සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ යි ‘ඉච්චායස්මා ජතුකණ්ණි’ යනු වේ.
ඔඝාතිගං පුට්ඨුමකාමමාගමං - ‘ඔඝාතිගං’ යනු: ඕඝයන් ඉක්ම ගිය ඕඝයන් අතික්‍රමණය කළ ඕඝයන් සමතික්‍රමණය කළ ඕඝයන් ඉක්මසිටියවුනැ’යි ‘ඔඝාතිගං’ යනු වේ. පුට්ඨුං යනු: පුළුවුස්නට විචාරන්නට අයදනට අධ්‍යෙෂණ කරන්නට පහදවන්නට. අකාමමාගමං යනු: කාම නැති මුඹ වහන්සේ පුළුවුස්නට කාම රහිත වූ හැරදැමූ කාම ඇති වමාළ කාම ඇති මුදාහළ කාම ඇති ප්‍රහාණය කළ කාම ඇති දුරැලූ කාම ඇති පහවූ රාග ඇති කසවූ රාග ඇති හැරදැමූ රාග ඇති වමාළ රාග ඇති මුදාළ රාග ඇති ප්‍රහීණ රාග ඇති දුරු කළ රාග ඇති මුඹ වහන්සේ පුළුවුස්නට ආම්හ ආවම්හ එළැඹියම්හ සැපැමිණියම්හ මුඹ වහන්සේ හා සමග එක්වූම්හ නුයි ‘ඔඝාතිගං පුට්ඨුකාමමාගමං’ යනු වේ.
සන්තිපදං බ්‍රෑහි සහාජනෙත්තො - ‘සන්ති’ යනු: එක් අයුරෙකින් ශාන්තිය ද ශාන්තිපදය ද එ මැ අමාමහ නිවන යි. යම් හැම සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් හැම උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි.
තෙල වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
“යම් සියලු සංස්කාරයන් ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේද තෙල නිර්‍වාණපදය ශාන්ත යැ තෙල නිර්‍වාණපදය ප්‍රණීත යි.” තවද අන් අයුරෙකින් (සතිපට්ඨානාදි) යම් ධර්‍ම කෙනෙක් නිර්‍වාණ ප්‍රතිවේධය පිණිස නිර්වාණස්පර්ශය පිණිස නිවන් පසක් කරනු පිණිස පවතිත් ද, හේ කෙසේ යැ යත්: සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක් ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්චබලයෝ යැ සප්තබෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යි මොහු ‘ශාන්තිපදයෝ’ යි කියනු ලැබෙත්. ශාන්තිපදය ත්‍රාණපදය ලෙනපදය ශරණපදය අභයපදය අච්‍යුතපදය අමෘතපදය නිර්‍වාණපදය බ්‍රෑහි - වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව තැබුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැවි. සහාජනෙත්ත - ‘නෙත්ත’යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි. භාග්‍යවත් බුදුන්ගේ නෙත්‍රයත් ජිනභාවයත් බෝමුල්හි දී පෙරපසු නො වැ එක්වට උපන. එයින් බුදුහු ‘සහජනෙත්‍ර’ නුයි ‘සන්තිපදං බ්‍රෑහි සහාජනෙත්ත’ යනු වේ.
යථාතච්ඡං භගවා බ්‍රෑහිමෙතං - ‘යථාතච්ඡං’ යි අමාමහනිවන කියනු ලැබෙයි... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. භගවා යනු: තෙල ගෞරවනාම යැ... මේ ‘භගවා’ යනු: අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙතං යනු: බ්‍රෑහි - වදාළ මැනැව... ප්‍රකාශ කළ මැනැව නුයි ‘යථාතච්ඡං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“සුත්වානහං වීර ... යථාතච්ඡං භගවා බ්‍රෑහි මෙතං” යි.