1. 7.
නිදුකාණෙනි,මෙ ලොවැ (අනිත්යාදි විසින්) විමසන ලද ධර්ම ඇති යම් (රහත්) කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්ෂ කෙනෙකුත් වෙත් ද මා විසින් පුළුවුස්නා ලද (ශෛක්ෂාශෛක්ෂධර්මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්රතිපත්තිය මට වදාළ මැනැව.
යෙ ව සඞ්ඛාතධම්මා සෙ යනු: “සඞ්ඛාතධම්මා” යි (අනිත්යාදි විසින් විමසූ දහම් ඇති) අර්හත් ක්ෂීණාස්රවයෝ කියනු ලැබෙති. කවර කරුණින් අර්හත් ක්ෂීණාස්රවයෝ “සඞ්ඛ්යාතධර්ම” යි කියනු ලැබෙත් ද යත්: ඔහු විමසූ දහම් ඇතියහ, දන්නා ලද දහම් ඇතියහ, තුලනය කරන ලද දහම් ඇතියහ, තීරණය කරන ලද දහම් ඇතියහ, ප්රකට කළ දහම් ඇතියහ, විභාවනය කරන ලද දහම් ඇතියහ, “හැම සංස්කාරයෝ අනිත්යහ’ යි විමසූ දහම් ඇතියහ, දන්නා ලද දහම් ඇතියහ, තුලනය කරන ලද දහම් ඇතියහ, තීරණය කරන ලද දහම් ඇතියහ, ප්රකට කළ දහම් ඇතියහ, විභාවන කරන ලද දහම් ඇතියහ. ‘හැම සංස්කාරයෝ දුඃඛහ’ යි විමසූ දහම් ඇතියහ ... ‘හැම සංස්කාරයෝ අනාත්මහ’ යි විමසූ දහම් ඇතියහ ... ‘අවිද්යා ප්රත්යයෙන් සංස්කාරයෝ වෙත්’ යයි විමසූ දහම් ඇතියහ ... ‘සමුදය ස්වභාවය ඇති යම් කිසිවක් වේ නම් එහැම නිරෝධ ස්වභාවය ඇත්තේ යැ’ යි විමසූ දහම් දන්නා ලද දහම් තුලනය කරන ලද දහම් තීරණය කරන ලද දහම් ප්රකට කරන ලද දහම් විභාවනය කරනලද දහම් ඇතියහ, නොහොත් ඔවුන් විසින් ස්කන්ධයෝ ප්රකාශ කරන ලදහ, ධාතූහු ප්රකාශ කරන ලදහ, ආයතනයෝ ප්රකාශ කරන ලදහ, ගතීහු ප්රකාශ කරන ලදහ, උත්පත්තීහු ප්රකාශ කරන ලදහ, ප්රතිසන්ධිය ප්රකාශ කරන ලද යැ, භවයෝ ප්රකාශ කරන ලදහ, සංසාරයෝ ප්රකාශ කරන ලදහ, වෘත්තයෝ ප්රකාශ කරන ලදහ, නොහොත් ඔහු ස්කන්ධපර්ය්යන්තයෙහි සිටියහ, ධාතු පර්ය්යන්තයෙහි- ආයතන පර්ය්යන්තයෙහි- ගතිපර්ය්යන්තයෙහි- උත්පත්තිපර්ය්යන්තයෙහි- ප්රතිසන්ධි පර්ය්යන්තයෙහි- භව පර්ය්යන්තයෙහි-සංසාර පර්ය්යන්තයෙහි- වෘත්ත පර්ය්යන්තයෙහි- අන්තිමභවයෙ හි- අන්තිම ශරීරයෙහි සිටියහ, රහත් හු අන්ති ම දෙහධරයෝ යි.
1. “ඔවුන්ගේ මේ පශ්චිම කොටිය (කෙළවර) වෙයි, මේ පශ්චිම ශරීරය යි, ජාතිමරණ සංසාරය, පුනර්භවය ඔවුනට නැතැ’ යි”.
එ කරුණින් අර්හත් ක්ෂීණාස්රයෝ ‘සඞ්ඛ්යාතධර්ම’ යි කියනු ලැබෙති ‘යෙ ච සඞ්ඛාතධම්මාසෙ’ යනු වේ.
යෙ ච සෙඛා පුථූ ඉධ යනු: ‘සෙඛා’ යි කවර කරුණින් ‘ශෛක්ෂයෝ’ යි කියනු ලැබෙති යත්: හික්මෙත් (ශික්ෂාගනිත්) නුයි ශෛක්ෂ නම් වෙත්. කුමක් හික්මෙති යත්. අධිශීලය (අධිශීලයෙහි) ද හික්මෙති, අධිචිත්තය ද හික්මෙති, අධිප්රඥාව ද හික්මෙත්. අධිශීලක්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ප්රාතිමොක්ෂ සංවරයෙන් සමන්වාගත වූයේ ආචාර ගෝචර සම්පන්න වැ අල්පමාත්ර වූ අකුශල ධර්මයෙහි භය දක්නා සුලු වැ වාස කෙරෙයි, (ඒ ඒ ශික්ෂාපදය) මනාකොට ගෙන (සමාදන් වැ) ශික්ෂා කොට්ඨාසයෙහි හික්මෙයි, ක්ෂුද්ර වූ ශීලස්කන්ධය ද මහත් වූ ශීලස්කන්ධය ද ශීල යැ කුශල ධර්මයන්ගේ ප්රතිලාභයට ප්රතිෂ්ඨා යැ ආදි යැ පාද යැ සංයම යැ සංවර යැ මුඛ (ප්රධාන) යැ ප්රමුඛ යි. මේ ‘අධිශීලශික්ෂා’ යි.
අධිචිත්තශික්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්රථමධ්යානයට ... ද්විතීයධ්යානයට ... තෘතීයධ්යානයට ... චතුර්ත්ථධ්යානයට පැමිණ වාස කෙරේ. මේ අධිචිත්තශික්ෂා යි.
අධිප්රඥාශික්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ උදයව්යය ගාමිනී වූ ආර්ය (නිර්දෝෂ) වූ නිර්වේද පක්ෂයෙහි වූ මනාසේ නිවනට පමුණුවන්නා වූ නුවණින් පරිපූර්ණ වූයේ ප්රඥාවත් වෙයි, හෙතෙම ‘මේ දුකැ’ යි තතු සේ දැනගනියි. මේ ‘දුක්සමුදය’ යි ... මේ දුක්නිරොධ යයි ... මේ ‘දුක් නිරෝධයට පමුණුවන පිළිවෙතැ’ යි තතු සේ දැනගනී. මොහු ‘ආස්රවයහ’ යි ... මේ ‘ආස්රවසමුදය’ යි ... මේ ‘ආස්රවනිරොධ’ යි ... මේ ආස්රවනිරොධයට පමුණුවන පිළිවෙතැ’ යි තතු සේ දැනගනී. මේ අධිප්රඥාශික්ෂා යි.
මේ තුන් ශික්ෂාවන් ආවර්ජනා කෙරෙමින් හික්මෙති, දනිමින් හික්මෙති දකිමින් හික්මෙති, ප්රත්යවේක්ෂා කෙරෙමින් හික්මෙති, සිත පිහිටුවමින් හික්මෙති, සැදැහැයෙන් ඇලෙමින් හික්මෙති, වීර්ය්යය දැඩි වැ ගනිමින් හික්මෙති, සිහි එළවමින් හික්මෙති, සිත එකඟ කෙරෙමින් හික්මෙති, ප්රඥායෙන් දැනගනිමින් හික්මෙති, ස්වභාව ලක්ෂණාවබෝධයෙන් දතයුත්ත ස්වභාවලක්ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙති, සාමාන්ය ලක්ෂණවබොධයෙන් දතයුත්ත සාමාන්යලක්ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙති, හළයුතු සමුදය හැරපියමින් හික්මෙති, වැඩියයුතු මඟ වඩමින් හික්මෙති, පසක් කළයුතු නිවන පසක් කෙරෙමින් හික්මෙති, හැසිරෙති, මොනොවට හැසිරෙති, මොනොවට ගෙන පවතිත්. එකරුණින් ‘ශෛක්ෂහ’ යි කියනු ලැබෙත්.
පුථූ යනු: බොහෝ වූ තෙල ශෛක්ෂයෝ සෝවන්හු ද එමඟට පිළිපන්හු ද සෙදගැමිහු ද එමඟට පිළිපන්හු ද අනගැමිහු ද එමඟට පිළිපන්හු ද රහත්මඟට පැමිණියාහු ද එමඟට පිළිපන්හු ද,
ඉධ යනු: මේ දෘෂ්ටියෙහි මේ ක්ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්රහණයෙහි මේ ධර්මයෙහි මේ විනයෙහි මේ ධර්මවිනයෙහි මේ ප්රවචනයෙහි මේ බ්රහ්මචර්ය්යයෙහි මේ ශාස්තෘශාසනයෙහි මේ අත්බව්හි මේ මිනිස්ලොවැ නුයි ‘යෙ ච සෙඛා පුථූ ඉධ’ යනු වේ.