1. 5.
(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.) ප්‍රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන සියල්ල කොහි නිරුද්ධ වේ ද?නිදුකාණෙනි, මා විසින් පුළුවුස්නාලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළ මැනැව.
පඤ්ඤා චෙව සතීචාපි යන්නෙහි ‘පඤ්ඤා’ යනු: යම් ප්‍රඥායෙක් ප්‍රජනනාකාරයෙක් විමසීමෙක් ප්‍රකර්ෂයෙන් විමසීමෙක් දහම් විමසීමෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්ෂණයෙක් පණ්ඩිත බවෙක් කෞශල්‍යයෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් (අනිත්‍යාදීන් පිරික්සන) උපපරීක්‍ෂායෙක් (පෘථිවිය වැනි හෙයින්) භූරීප්‍රඥායෙක් (කෙලෙසුන් නසන) මේධායෙක් (සම්ප්‍රයුක්තධර්මයන් මෙහෙයන) පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග් ඥානයෙක් (සිත වීථියට නඟන) පතෝද ප්‍රඥායෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලොකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එය යි. සති යනු: යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ දැ’ යි “පඤ්ඤා චෙව සතී චාපි” යනු වේ. ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.
නාමරූපඤ්ච මාරිස යන්නෙහි: “නාමං” යනු: සතර අරූප ස්කන්‍ධයෝ යැ, රූපං යනු සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. මාරිස යනු: තෙල මාරිස යනු ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව වචන යැ සප්‍රතිශ්‍රයට නමෙක් නුයි “නාමරූපඤ්ච මාරිස” යනු වේ.
එතං මෙ පුට්ඨො පබ්‍රෑහි යනු: “එතං මෙ” යනු යමක් පුළුවුසීම් ද යමක් අයදීම් ද යමක් අධ්‍යෙෂණ කෙරෙම් ද යම් කරුණකට පහදවම් ද (තෙල කරුණ) පුට්ඨො යනු: පුළුවුස්නා ලදහු අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු, (මුඹ වහන්සේ) පබ්‍රෑහි යනු: කිව මැනැව පැවැසුව මැනැව දෙසුව මැනැව පැනවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ කළ මැනැව යි “එතං මෙ පුට්ඨො පබ්‍රෑහි” යනු වේ.
කත්‍ථේතං උපරුජ්ඣති යනු: තෙල නාමරූපය කොහි නිරුද්ධ වේ ද නිවේ ද අභාවයට යේ ද සන්හිඳේ දැ යි “කත්‍ථේතං උපරුජ්ඣති”යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“පඤ්ඤා චෙව සතී චාපි -පෙ- කත්‍ථේතං උපරුජ්ඣති” යි.
1. 6.
අජිත තෙපි යම් පැනයක් විචාළ වු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද (පශ්චිම) විඥානයා ගේ නිරෝධය හා මැ (පෙරපසු නො වැ) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි (විඥාන නිරෝධය ඉක්ම නො යෙයි.)
යමෙතං පඤ්හං අපුච්ජි යනුයෙහි: “යමෙතං” යනු ප්‍රඥාව ද ස්මෘතිය ද නාමරූපය ද, අපුච්ජි යනු විචාළ වු අයැදියවු අධ්‍යෙෂණ කළ වු පැහැදවූවහු නු යි “යමෙතං පඤ්හං අපුච්ජි” යනු වේ.
අජිත තං වදාමි තෙ යනු: බුදුහු ඒ බමුණු නමින් අමතති. තං යනු: ප්‍රඥාව ද ස්මෘතිය ද නාමරූපය ද, වදාමි යනු කියමි පවසමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙමි නුයි “අජිත තං වදාමි තෙ” යනු වේ.
යත්‍ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති යනු: “නාමං” යනු සතර අරූපස්කන්ධයෝ යැ. රූපං යනු සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද, අසෙසං යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘අසෙසං’ යනු. උපරුජ්ඣති යනු නිරුද්ධ වෙයි නිවෙයි අභාවයට යෙයි සන්හිඳේ නුයි “යත්‍ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති” යනු වේ.