1. 4.
(බුදුහු මෙසේ වදාළහ: අජිතය) ලොවැ යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද ස්මෘතිය ඔවුනට ආවරණය වෙයි. (එ මැ ස්මෘතිය) ස්‍රෝතසුන් ගේ සංවරය යි කියමි, (මාර්‍ග) ප්‍රඥාව විසින් තුලුහු පියනු (පසිඳනු) ලැබෙත්.
යානි සෝතානි ලෝකස්මිං යනු: තෙල යම් ස්‍රෝතස් කෙනෙක් මා විසින් කීර්‍තනය කරන ලද්දාහු ප්‍රකීර්තනය කරන ලද්දාහු කියන ලද්දාහු දෙසන ලද්දාහු පනවන ලද්දාහු පිහිටුවන ලද්දාහු විවෘත කරන ලද්දාහු විභාග කරන ලද්දාහු නො ගැඹුරු කරන ලද්දාහු ප්‍රකාශ කරන ලද්දාහු ද, ඒ කෙසේ යැ යත්: තෘෂ්ණා ස්‍රොතස යැ දෘෂ්ටි ස්‍රොතස යැ ක්ලේශස්‍රොතස යැ දුශ්චරිතස්‍රොතස යැ අවිද්‍යා ස්‍රොතස යි. ලෝකස්මිං යනු අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දිව්‍යලෝකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතු ලෝකයෙහි ආයතනලෝකයෙහි නුයි ‘යානි සෝතානි ලෝකස්මිං’ යනු වේ. අජිත යනු: බුදුහු ඒ බමුණු නමින් අමතති.
සති තෙසං නිවාරණං යන්නෙහි- සති යනු: යම් සිහියෙක් පුනපුනා සිහි කිරීමෙක් අභිමුඛ වැ මෙන් සිහිකිරීමෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන බවෙක් ධරන බවෙක් (අරමුණෙහි) බැසගන්නා බවෙක් විස්මෘත නො කරන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්ගයෙක් වේ ද මේ ‘ස්මෘති’ යයි කියනු ලැබේ. නිවාරණං යනු: ආවරණ යැ නීවරණ යැ සංවරණ යැ රක්ෂණ යැ ගෝපන යැ නුයි “සති තෙසං නිවාරණං” යනු වේ.
සෝතානං සංවරං බ්‍රෑමි යනු: ස්‍රෝතසුන්ගේ ආවරණය නීවරණය සංවරණය රක්‍ෂණය ගෝපන යි, බ්‍රෑමි: කියමි ... නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘සෝතානං සංවරං බ්‍රෑමි’ යනු වේ.
පඤ්ඤායෙතෙ පිථියරෙ යන්නෙහි: ‘පඤ්ඤා’ යනු යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් අමෝහයෙක් දහම් විමසීමෙක් ... සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද එයයි. පඤ්ඤායෙතෙ පිථියරෙ යනු: ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු (වසනු) ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
‘හැම සංස්කාරයෝ අනිත්‍යහ යි දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු වසනු ලැබෙති. පසිඳිති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නොපවතිත්. ‘හැම සංස්කාරයෝ දුඃඛහ’ යි දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්. ‘හැම සංස්කාරයෝ අනාත්මහ’ යි දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුන පුනා නො පවතිත්.
‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නොවැගිරෙති යට බලා නොයෙති නො ගලති පුනපුනා නො පවතිත්. ‘සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ’ යයි ... ‘විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වේ’ යයි ... “නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වේ” යයි ... ‘ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වේ’ යයි ... ‘ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වේ’ යයි ... වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ’ යයි ... ‘තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වේ’ යයි... “උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ’ යයි ... “භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ’ යයි ... ‘ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යයි’ දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නොවැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
‘අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ’ යයි ... ‘සංස්කාර නිරෝධයෙන් විඥානනිරෝධය වේ’ යයි ... විඥානනිරෝධයෙන් නාමරූප නිරෝධය වේ’ යයි ... ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ’ යයි ... ‘ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශ නිරෝධය වේ’ යයි ... ‘ස්පර්‍ශ නිරෝධයෙන් වේදනානිරෝධය වේ, යයි ... ‘වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වේ යයි ... ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ’ යයි ... ‘උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ’ යයි ... භව නිරෝධයෙන් ජාතිනිරොධය වේ’ යයි ... ‘ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ’ යයි දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
‘මේ දුකැ’ යි ... ‘මේ දුඃඛසමුදයැ’ යි ...‘මේ දුඃඛනිරෝධයැ’ යි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා’ යි දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
‘මොහු ආස්‍රවය’ යි ... ‘මේ ආස්‍රව සමුදය’ යි ... ‘මේ ආස්‍රවනිරොධය’ යි ... ‘මේ ආස්‍රවනිරොධගාමිනීප්‍රතිපදා’ යි දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
‘මේ ධර්‍මයෝ ස්වලක්ෂණාවබෝධයෙන් දතයුත්තාහ’ යි ... ‘මේ ධර්‍මයෝ සාමාන්‍ය ලක්ෂණාවබෝධයෙන් දතයුත්තාහ’ යි ... ‘මේ ධර්‍මයෝ ප්‍රහාතව්‍යහ’ යි ... ‘මේ ධර්‍මයෝ භාවිතව්‍යහ’ යි ... ‘මේ ධර්‍මයෝ සාක්‍ෂාත් කර්තව්‍යහ’ යි දන්නහු ගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.