1. 3.
(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.) හැම තන්හි (තෘෂ්ණාදි) ස්‍රෝතස්හු (රූපාදි ආයතනයන්හි) ගලා යෙති, ස්‍රෝතසුන් ගේ ආවරණය කවරැ? ස්‍රෝතසුන්ගේ සංවරය වදාළ මැනැව කවර දහමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද? (පසිඳනු ලැබෙත් ද?)
සවන්ති සබ්බධි සෝතා යනු: ‘සෝත’ යනු තෘෂ්ණා ස්‍රොතස (නදිය) දෘෂ්ටිස්‍රොතස ක්ලේශස්‍රොතස දුශ්චරිත ස්‍රොතස අවිද්‍යා ස්‍රොතස. සබ්බධි යනු: හැම ආයතනයන්හි සවන්ති යනු: වැගිරෙති (උපදිති) යට බලා යෙති ගලායෙති පුනපුනා පවතිත්. ඇස කෙරෙන් රූපවිෂයයෙහි (තෘෂ්ණා ස්‍රෝතස්හු) වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. කනින් ශබ්ද විෂයයෙහි වැගිරෙති නැහැයෙන් ගන්ධවිෂයයෙහි වැගිරෙති...දිවින් රසවිෂයයෙහි වැගිරෙති...කයින් ස්ප්‍රෂ්ටව්‍යවිෂයයෙහි වැගිරෙති...මනසින් ධර්‍මවිෂයයෙහි වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. ඇසින් රූපතෘෂ්ණා (ස්‍රෝතස්හු) වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. කනින් ශබ්දතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත් නැහැයෙන් ගන්‍ධතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. දිවින් රස තෘෂ්ණාව වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. කයින් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. මනසින් ධර්‍මතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත් නුයි ‘සවන්ති සබ්බධි සෝතා’ යනු වේ.
ඉච්චායස්මා අජිතො යන්නෙහි ‘ඉච්ච’ යනු පදසන්ධි යැ ... තෙල ‘ඉච්ච’ යනු පදානුපූර්‍වතා යැ. ආයස්මා යනු: ප්‍රියවචන යැ ... අජිතො යනු ඒ බමුණාගේ නම යැ ... අභිලාපය වේ නුයි ‘ඉච්චායස්මා අජිතො’ යනු වේ.
සෝතානං කිං නිවාරණං යනු: ස්‍රොතසූන්ට කිමෙක් ආවරණ (ඇවිරීම) යැ නීවරණ (වැසීම) යැ සංවරණ යැ රක්ෂණ යැ ගෝපන යැ නුයි ‘සෝතානං කිං නිවාරණං’ යනු වේ.
සෝතානං සංවරං බ්‍රෑහි යනු: ආවරණය නීවරණය සංවරණය රක්‍ෂණය ගෝපනය, බ්‍රෑහි- වදාළ මැනැව දෙසුව මැනැව පැනවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ තළ මැනැව නුයි ‘සෝතානං සංවරං බ්‍රෑහි’ යනු වේ. කෙන සෝතා පිථියරෙ යනු: කිමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද පසිඳනු ලැබෙත් ද නො වැගිරෙත් ද යට බලා නො යෙත් ද නොගලත් ද පුනපුනා නො පවතිත් දැයි ‘කෙන සෝතා පිථියරෙ’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“සවන්ති සබ්බධි සෝතා -පෙ- කෙන සෝතා පිථියරෙ” යි.