12. භද්‍රාවුධ මාණව පෘච්ඡා
12-1. (ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) ආලය සඞ්ඛ්‍යාත ඕකය දුරැලූ ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටලෝදහම්හි නො සැලෙන, අනාගත ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නන්‍දිය දුරැලූ චතුරෝඝය තරණය කළා වූ කෙලෙසුන් කෙරෙන් මිදුණු, තෘෂ්ණා-දෘෂ්ටිකල්ප දුරැලූ, ශෝභන ප්‍රඥා ඇති බුදුරදුන් වෙසෙසින් අයදිමි. නාග වූ මුඹ වහන්සේ ගේ වදන් අසා (බොහෝ ජනයෝ) මේ පහණ සෑයෙන් නික්ම යෙත්.
12-2. වීරයන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් කැමැති වූ නානා ජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස් වූහු යැ. මුඹ වහන්සේ ඔවුනට දහම් දෙසුව මැනැව. යම් හෙයකින් තෙල දහම් මුඹ වහන්සේ විසින් දන්නා ලද ද එහෙයිනි.
12-3. (බුදුහු මෙසේ වදාළහ: භද්‍රාවුධය,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදාන තෘෂ්ණාව (තෘෂ්ණොපාදානය) දුරු කරවු, යම් හෙයකින් ලොවැ (අතීතරූපාදි) යම් යම් වස්තුවක් දැඩි කොට ගනිත් ද, එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා අනුවැ යෙයි.
12-4. එහෙයින් ස්මෘතිමත් වූ (සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන්) දන්නා වූ මහණ තෙම මේ ප්‍රජාව ‘මෘත්‍යුධෙයයෙහි ඇලිණැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි ඇලුණු සියලු ලොවැ (රූපාදි) කිසිවක් නො ගන්නේ යැ යි.
භද්‍රාවුධ මාණව පෘච්ඡා නිමි.
13. උදය මාණව පෘච්ඡා
13-1. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ධ්‍යාන කරනසුලු වූ විගත රජස් ඇති වැ වැඩහුන් සිව්මඟින් කළ (සොළොස් වැදෑරුම්) කිස ඇති අනාස්‍රව වූ සියලු ධර්‍මයන්ගේ පරතෙර පැමිණි භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි. අවිද්‍යාව බිඳුනා අඤ්ඤා විමොක්ඛ සඞ්ඛ්‍යාත නිවන වදාළ මැනැව.
13-2. (බුදුහු මෙසේ වදාළහ: උදය,) කාමච්ඡන්‍දයන් ගේ ද දෞර්‍මනස්‍යයන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද ථීනමිද්ධයා ගේ දුරැලීම ද කෞකෘත්‍යයා ගේ වැළකීම ද ඇති-
13-3. චතුර්ත්ථධ්‍යානොපෙක්‍ෂා-ස්මෘති දෙකින් සංශුද්ධිය ඇති ධර්‍මතර්ක සඞ්ඛ්‍යාත සම්‍යක්සංකල්පය පෙරටු කොට ඇති අර්‍හත්ඵල විමෝක්‍ෂය අවිද්‍යාව ගේ බිඳීම යැ යි ප්‍රකාශ කරමි.
13-4. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ලෝවැසි තෙම කුමක් සංයෝජන කොට ඇත්තේ ද? ඒ ලෝවැසියා ගේ විචාරණය (හැසිරීමට කරුණ) කිම? කිනම් දහමක්හු ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’යි කියනු ලැබේද?
13-5. ලෝවැසි තෙම තෘෂ්ණාව සංයෝජන කොට ඇත්තේ යැ, විතර්‍කය ඔහුට විචාරණය වෙයි. තෘෂ්ණාව ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’යි කියනු ලැබේ.
13-6. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ස්මෘති සම්පන්න වැ වාසය කරන්නහු ගේ විඥානය කිසෙයින් නිරුද්ධ වේ ද? භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නා සඳහා පැමිණියම්හ, මුඹ වහන්සේ ගේ ඒ වචනය අසම්හ.
13-7. අධ්‍යාත්මාලම්බනයෙහි ද බහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන ස්මෘතිමත් වැ හැසිරෙනුවහු ගේ විඥානය මෙසේ නිරුද්ධ වේ යයි.
උදය මාණව පෘච්ඡා නිමි.