9. 7.
(බුදුහු මාගන්‍දිය යී මෙසේ වදාරති:) දෘෂ්ටිය මැ නිශ්‍රය කොට (-නිසා) පුනපුනා විචාරනුයෙහි දැඩිව ගන්නා ලද දෘෂ්ටීන් කෙරෙහි ප්‍රකර්‍ෂමොහයට පැමිණියෙහි යම් හෙයකින් තෝ මේ දහමින් මඳ වූ සංඥාවකු දු නුදුටුයෙහි ද එහෙයින් අතිමූඪ වූවක් වශයෙන් දක්නෙහි.
දිට්ඨිඤ්ච නිස්සාය අනුපුච්ඡමානො - මාගන්‍දිය බමුණු දෘෂ්ටිය නිසා දෘෂ්ටිය විචාරයි, දෘෂ්ටිලග්නය නිසා (-එල්බගෙන) දෘෂ්ටිලග්නය විචාරයි, දෘෂ්ටිබන්ධනය නිසා දෘෂ්ටිබන්ධනය විචාරයි, දෘෂ්ටිපරිබොධය නිශ්‍රය කොට දෘෂ්ටිපරිබොධය විචාරයි; අනුපුච්ඡමානො - පුනපුනා විචාරා නුයි ‘දිට්ඨිඤ්ච නිස්සාය අනුපුච්ඡමානො’ යනු වේ. මාගන්‍දිය යී බුදුහු ඒ බමුණා නමින් ආමනුත්‍රණය කෙරෙති. භගවා යනු: ගෞරවාධිවචන යැ... මේ ‘භගවා’ යනු ප්‍රත්‍යක්‍ෂකරණයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි - ‘මාගන්දියාති භගවා’ යනු වේ.
සමුග්ගහීතෙසු පමොහමාගතො - තා විසින් යම් දෘෂ්ටියක් ගන්නා ලද්දී පරාමර්‍ශ කරනලද්දී පිවිසැ ගන්නා ලද්දී දැඩි වැ ගන්නා ලද්දී අධිමුක්ත වූවා ද, තෝ ඒ දෘෂ්ටියෙන් මැ මූඪ වූයෙහි ප්‍රමූඪ වූයෙහි සම්මූඪ වූයෙහි මෝහයට පැමිණියෙහි ප්‍රමොහයට පැමිණියෙහි සම්මෝහයට පැමිණියෙහි අඳුරට පිවිසියෙහි නුයි ‘සමුග්ගහීතෙසු පමොහමාගතො’ යනු වේ.
ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං - මේ අධ්‍යාත්මශාන්තියෙන් හෝ ප්‍රතිපදායෙන් හෝ ධර්‍මදෙශනාවෙන් හෝ (මහණදම්හි) යුක්තසංඥාවක් හෝ ප්‍රාප්තසංඥාවක් හෝ ලක්‍ෂණසංඥාවක් හෝ කාරණසංඥාවක් හෝ හෙතුසංඥාවක් හෝ නො ලබව, මාර්‍ගඥානය වැලිත් කොයින් ලබවු ද’යි මෙසේත් - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං’ යනු වේ. නොහොත් අනිත්‍යය හෝ අනිත්‍යසංඥානුලොමය හෝ දුඃඛය හෝ දුඃඛසංඥානුලොමය හෝ අනාත්මය හෝ අනාත්මසංඥානුලොමය හෝ සංඥාඋත්පාද මාත්‍රයක් හෝ සංඥානිමිත්ත හෝ නො ලබව, මාර්‍ගඥානය කොයින් ලබවු දැ’යි මෙසේත් - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං’ යනු වේ.
තස්මා තුවං මොමූහතො දහාසි - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මොමූහධර්‍මයක් වශයෙන් බාලධර්‍මයක් වශයෙන් මූඪධර්‍මයක් වශයෙන් අඥානධර්‍මයක් වශයෙන් අමරාවික්‍ෂෙපධර්‍මයක් වශයෙන් ගන්ව බලව දක්හි අවලොකනය කෙරෙහි සිතව විමසව’යි ‘තස්මා තුවං මොමූහතො දහාසි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨිං ච නිස්සාය -පෙ- මොමූහතො දහාසි” යී.
9. 8.
යමෙක් ‘(මම) සම වෙමී, හෝ විශිෂ්ට වෙමී, හෝ නොහොත් හීන වෙමී’ නාම කෙරේ නම්, හෙතෙම ඒ මානයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පුද්ගලයා සමග හෝ විවාද කරන්නේ යැ. (යමෙක් ඒ) ත්‍රිවිධ මානයෙහි නො සැලෙනුයේ වේ නම්, ඒ මට ‘සම වෙමී හෝ විශිෂ්ට වෙමී’ (මානය) නො වේ.
සමො විසෙසි උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන - ‘මම් සදෘශ වෙමී’ හෝ ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම හීන වෙමී’ හෝ යමෙක් හඟනේ නම් හෙතෙම ඒ මානයෙන් හෝ ඒ දෘෂ්ටියෙන් හෝ ‘ඒ පුද්ගලයා සමග හෝ කලහ කරන්නේ යැ, ඩබර කරන්නේ යැ, විග්‍රහ කරන්නේ යැ, විවාද කරන්නේ යැ, අරගල කරන්නේ යැ: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නහු යැ, මේ ධර්‍මවිනය මම් දනිමී, කිමැ තෙමි මේ ධර්‍මවිනය දන්නහු ද? තෙපි වරදවා පිළිපන්නහු යැ, මම් සම්‍යක්ප්‍රතිපන්නයෙමි, මාගේ බස අර්‍ත්‍ථසංහිත යැ, තාගේ බස අනත්‍ථසංහිත යැ’ පළමු කියැයුත්ත පසුව කීයෙහි, පසුව කියැයුත්ත පළමු කීයෙහි, තා පුහුණු කළ දෙය නැවැතිණ, තට වාදාරෝපණය කරන ලද, නිග්‍රහ කරන ලදුයෙහි, වාදයෙන් ගැළැවෙනු සඳහා පිළිතුරු සොයා යව, ඉදින් පොහොසත්හි නම් (තමා) මුදා ගනැ’යි (විවාද කරන්නේ නුයි) ‘සමො විසෙසී උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන’ යනු වේ.
තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති - යමක්හට තෙල ත්‍රිවිධමානයෝ ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු (මාර්‍ගයෙන්) නසන ලද්දාහු උපතට අභව්‍ය වූවාහු නුවණ ගින්නෙන් දවන ලද්දාහු වෙත් ද; හෙතෙම තුන් මානයන්හි නො සැලෙයි, වෙසෙසින් නො සැලෙයි, නො සැලෙන පුද්ගලයාහට ‘මම් සදෘශ වෙමී’ හෝ ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම් හීන වෙමී’ හෝ - න තස්ස හොති - මට නො වේ නුයි ‘තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සමො විසෙසී -පෙ- න තස්ස හොති” යී.
9. 9.
ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙම (මෙය මැ) සැබැවැයි කවර වස්තුවක් (හෝ කුමන කරුණෙකින්) කියන්නේ ද, හෙතෙම (තා කියන්නේ) මෘෂා යැයි හෝ කවර මානයකින් (දෘෂ්ටියකින් හෝ පුද්ගලයකු හා සමග) විවාද කරන්නේ ද, යමක්හු කෙරෙහි සමමානය හෝ විෂමමානය හෝ නැද්ද, හෙතෙම කවර මානයකින් වාදයෙහි යෙදෙන්නේ ද.