9. 13.
ප්රහීණ කළ කාමාදි සංඥා ඇත්තහුට (අභිධ්යාකායාදි) ග්රන්ථයෝ නො වෙති. විදර්ශනාප්රඥාවෙන් කෙලෙසුන් කෙරෙන් මිදුණහුට මෝහයෝ නො වෙති. යම් කෙනෙක් කාමාදි සංඥාව ත් දෙසැට දෘෂ්ටිය ත් දැඩි වැ ගත්තාහු නම්, ඔහු උනුන් ගටමින් ලොවැ හැසිරෙත්.
සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා - යමෙක් ශමථපූර්වඞ්ගම ආර්ය්ය මාර්ගය වඩා ද ආදියෙහි පටන් ඔහුගේ අභිධ්යාකායාදි ග්රන්ථයෝ විෂ්කම්භණ වූවාහු වෙති, රහත්බවට පැමිණි කල්හි රහත්හුගේ ග්රන්ථයෝ ද මෝහයෝ ද නීවරණයෝ ද කාමසංඥා ව්යාපාදසංඥා විහිංසාසංඥා දෘෂ්ටිසංඥා ද ප්රහීණ වූවාහු වෙති, උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මතු නූපදනා පියවි ඇත්තාහු නුයි ‘සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා’ යනු වේ.
පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා - යමෙක් විදර්ශනා පූර්වඞ්ගම වූ ආර්ය්යමාර්ගය වඩා ද, ඔහුගේ ආදියෙහි පටන් මෝහයෝ විෂ්කම්භණ වූවාහු වෙති, රහත්බවට පැමිණි කල්හි රහත්හුගේ මෝහයෝ ද ග්රන්ථයෝ ද නීවරණයෝ ද කාම - ව්යාපාද - විහිංසා - දෘෂ්ටිසංඥා ද ප්රහීණ වූවාහු වෙති සිඳින ලද මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනාභාවය කරන ලද්දාහු මතු නූපදනා පියවි ඇත්තාහු නුයි - ‘පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා’ යනු වේ.
සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ - යම් කෙනෙක් කාම - ව්යාපාද - විහිංසා - යන සංඥාව ගනිත් ද ඒ ගැහැවියෝ සංඥාවශයෙන් ගටති, ඉතා ගටත්. රජහු ද රජුන් සමග විවාද කෙරෙති, ක්ෂත්රියයෝත් ක්ෂත්රියයන් සමග විවාද කෙරෙති, බමුණෝත් බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝත් ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතු සමග විවාද කෙරෙයි, පුතාත් මව සමග විවාද කෙරෙයි, පියතෙමේ ත් පුතු සමග විවාද කෙරෙයි, පුතාත් පියා සමග විවාද කෙරෙයි, සොහොයුරාත් සොහොයුරු සමග විවාද කෙරෙයි, සොහොයුරියත් සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරාත් සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරියත් සොහොයුරු සමග විවාද කෙරෙයි, යහළුවාත් යහළුහු සමග විවාද කෙරෙයි, ඔවුහු එහි කලහවිග්රහවිවාදයට පැමිණියාහු උනුනට අත්වලිනු දු පහර දෙති, කැටගලිනු දු ගසති, දඬුවලින් දු ගසති, සැතිනු දු පහර දෙත්. ඔවුහු එහි දී මරණයටත් මරණ මාත්ර දුකටත් පැමිණෙත්. යම් කෙනෙක් දෘෂ්ටිය ගනිත් ද: ‘ශාශ්වත යැ ලොකයැයි හෝ... සත්ත්වතෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වේ යැයි හෝ’ ඔවුහු දෘෂ්ටිවශයෙන් ගටති, ඉතා ගටති ශාස්තෘහු වශයෙන් ශාස්තෘහු ගටති, ධර්මාඛ්යානයෙන් ධර්මාඛ්යානය - ගණයා කෙරෙන් ගණයා - දෘෂ්ටියෙන් දෘෂ්ටිය - පිළිවෙතින් පිළිවෙත - මාර්ගයෙන් මාර්ගය ගටත්. නොහොත් ඔහු විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්රහ කෙරෙති, විවාද කෙරෙති අරගල කෙරෙති: ‘තෙපි මේ ධර්මවිනය නො දන්නවුයැ... ඉදින් පොහොසත්හු නම් තමා මුදා ගනිවුයැ’යි. ඔවුන්ගේ පුණ්යාදි අභිසංස්කාරයෝ අප්රහීණයහ, අභිසංස්කාරයන් අප්රහීණ වන බැවින් (යායුතු) ගතියෙන් ගටති, නිරයෙහි ලා ගටති, තිරශ්චීනයෝනියෙහි ගටති, ප්රේතවිෂයයෙහි ගටති, මනුෂ්යලොකයෙහි ගටති, දිව්යලෝකයෙහි ගටත්. ගතියෙන් ගතිය උපතින් උපත පිළිසඳින් පිළිසඳ භවයෙන් භවය සසරින් සසර වටින් වට ගටති, ඉතා ගටති. ගටමින් ඇවිදිති හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යපනය වෙත්. ලෝකේ - අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
‘සඤ්ඤාවිරත්තස්ස -පෙ- තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ” යී.
නවවැනි ‘මාගන්දිය’ සූත්රනිර්දේශය යි.
10.
පුරාභෙදසූත්රනිර්දේශය
ඉක්බිති ‘පුරාභේද’ සූත්රනිර්දේශය කියනු ලැබේ:
10. 1.
කෙබඳු දර්ශනයකින් යුක්ත වූ කෙබඳු ශීලයකින් යුක්ත වූ පුද්ගල තෙම උපශාන්ත යැයි කියනු ලැබේ ද? ගොයුමාණෙනි, මා විසින් පුළුවුස්නා ලදුවහු ඒ උත්තම පුද්ගලයා වදාළ මැනව.