7. 8.
මේ සසුන්හි මුනි තෙම පෙර මහණකම්හි (යශස්කීර්ති) සැපත ද පසුව (ගිහි වූවහුගේ විපත ද යන) සම්පත්හුගේ විපත්ති සඞ්ඛ්යාත තෙල ආදීනවය දැක එකලා වාසය දැඩි කරන්නේය, මෙවුන්දම් නො සෙවුණේය.
එතමාදීනවං ඤත්වා මුනි පුබ්බාපරෙ ඉධ - ‘එතං’ යනු: පෙර මහණ බව්හි යශස් ද කීර්තිය ද පසුකලෙක බුදුන් දහම් සඟුන් හා ශික්ෂාව හැරපියා ගිහි වූවහුගේ අයශස් හා අකීර්තතිය ද (යන) තෙල සම්පත්හුගේ විපත්තිය දැන දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්රකට කොට; මුනි - ‘මොන’යී ඤාණය කියනු ලැබෙයි, යම් ප්රඥාවක්,...(2. 8. සූත්රනිර්දේශය). ඉධ - මේ දෘෂ්ටියෙහි මේ ක්ෂාන්තියෙහි මේ රුචියයෙහි මේ ග්රහණයෙහි මේ ධර්මයෙහි මේ විනයෙහි මේ ධර්මවිනයෙහි මේ ප්රවචනයෙහි මේ ශාස්තෘශාසනයෙහි මේ බ්රහ්මචර්ය්යයෙහි මේ ආත්මභාවයෙහි මේ මනුෂ්යලොකයෙහි නුයි ‘එතමාදීනවං ඤත්වා මුනි පුබ්බාපරෙ ඉධ’ යනු වේ.
එකචරියං දළ්හං කයිරා - දෙ කරුණෙකින් එකලා වාසය දැඩි කරන්නේය: පැවිදි කොටසින් හෝ ගණයා කෙරෙන් වෙන් ව විසීමෙන් හෝ යැ, කිසෙයින් පැවිදි කොටසින් එකචර්ය්යාව දැඩි කරන්නේ ද යත්? සියලු ගෘහවාසපළිබොධය සිඳපියා ප්රත්රදාරපළිබොධය - ඥාතිපළිබොධය - මිත්රාමාත්යපළිබොධය සිඳපියා කෙස් දැළිරවුළු බහා කසටවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදිව කිසිවක් නැති බවට පැමිණ එකලා වැ හැසිරෙන්නේය, වෙසෙන්නේය, වැටෙන්නේය, රැකෙන්නේය, යැපෙන්නේය, පාලනය වන්නේය, මෙසේ පැවිදි කොටසින් එකචර්ය්යාව දැඩි කරන්නේය. කිසෙයින් ගණයා කෙරෙන් වෙන්ව විසීමෙන් එකලා වාසය දැඩි කරන්නේද යත් ? හේ මෙසේ පැවිදි වූයේ අල්පශබ්ද වූ අල්ප නිර්ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්යයන්ට යෝග්ය වූ විවේකයට අනුරූප වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් ඉතා දුරසෙනසුන් සෙවුණේය, හේ තනි වැ යෙයි, තනි වැ සිටී, තනි වැ හිඳී, තනි වැ හොවී, තනි වැ ගමට පිඬු සිඟායයි, තනි වැ පෙරළා එයි, තනි වැ රහසැ හිඳි, තනි වැ සක්මන් කරන්නේය, තනි වැ හැසිරෙන්නේය, වෙසෙන්නේය, ඉරියවු පවත්වන්නේය පවත්නේය රැකෙන්නේය යැපෙන්නේය පාලනය වන්නේ යි. මෙසේ ගණයා කෙරෙන් වෙන්ව සිටීමෙන් එකචර්ය්යාව දැඩි කරන්නේය, එකචර්ය්යාව නො ලිහිල් කරන්නේය, වීර්ය්ය කරන්නේය. කුසල්දහම්හි දැඩි සමාදාන ඇති වන්නේය, සනිටුහන් කළ සමාදාන ඇතිවන්නේ නුයි ‘එකචරියං දළ්හං කයිරා’ යනු වේ.
න නිසෙවෙථ මෙථුනං - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්මයෙක් ග්රාමධර්මයෙක්... එහෙයින් ‘මෙථුනධම්ම’ යයි කියනු ලැබේ. මෙවුන්දම් නො සෙවුණේය, නිසෙවන - සංසෙවන - ප්රතිසේවනය නො කරන්නේය; නො හැසිරෙන්නේය, නො යෙදෙන්නේය, සමාදන්ව නො පවත්නේ නුයි ‘න නිසෙවෙථ මෙථුනං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එතමාදීනවං ඤත්වා -පෙ- න නිසෙවෙථ මෙථුනං” යී
7. 9.
බුද්ධාදි ආර්ය්යයන් ගේ උතුම් වූ තෙල විවේකයෙහි ම හික්මෙන්නේය, ඒ විවේකය හේතුකොටගෙන ‘මම් ශ්රේෂ්ඨ වෙමී’ නො සිතන්නේය, හෙතෙම ඒකාන්තයෙන් නිවන සමීපයෙහි වන්නේ යි.
විවෙකඤ්ඤෙව සික්ඛෙථ - ‘විවෙක’ යනු: කායවිවේක යැ චිත්තවිවේක යැ උපධිවිවෙක යැ යන තුන් විවෙකයෝ ය. කායවිවේකය කවරැ යත් ? ... මේ උපධි විවෙක යි. ගණයා කෙරෙන් වෙන්වූ කය ඇති නෛෂ්ක්රම්යයෙහි ඇලුණවුන්ට කායවිවේකය ද පිරිසිදු සිත් ඇති උත්තම පරිශුද්ධියට පැමිණියවුන්ට චිත්තවිවෙකය ද ආරම්මණවශයෙන් නිවනට පැමිණි උපධි රහිත පුද්ගලයන්ට උපධිවිවේකය ද වේ. සික්ඛා යනු: අධිශීලශික්ෂා යැ අධිචිත්තශික්ෂා යැ අධිප්රඥාශික්ෂා යැයි ශික්ෂා තුනෙකි... මෝ අධිප්රඥාශික්ෂා යි. විවෙකඤ්ඤෙව සික්ඛෙථ - විවේකයෙහි මැ හැසිරෙන්නේය වෙසෙසින් හැසිරෙන්නේය, සමාදන්ව පවත්නේ ය, හික්මෙන්නේ නුයි ‘විවෙකඤ්ඤෙව සික්ඛෙථ’ යනු වේ.