7. 9.
බුද්ධාදි ආර්ය්යයන් ගේ උතුම් වූ තෙල විවේකයෙහි ම හික්මෙන්නේය, ඒ විවේකය හේතුකොටගෙන ‘මම් ශ්රේෂ්ඨ වෙමී’ නො සිතන්නේය, හෙතෙම ඒකාන්තයෙන් නිවන සමීපයෙහි වන්නේ යි.
විවෙකඤ්ඤෙව සික්ඛෙථ - ‘විවෙක’ යනු: කායවිවේක යැ චිත්තවිවේක යැ උපධිවිවෙක යැ යන තුන් විවෙකයෝ ය. කායවිවේකය කවරැ යත් ? ... මේ උපධි විවෙක යි. ගණයා කෙරෙන් වෙන්වූ කය ඇති නෛෂ්ක්රම්යයෙහි ඇලුණවුන්ට කායවිවේකය ද පිරිසිදු සිත් ඇති උත්තම පරිශුද්ධියට පැමිණියවුන්ට චිත්තවිවෙකය ද ආරම්මණවශයෙන් නිවනට පැමිණි උපධි රහිත පුද්ගලයන්ට උපධිවිවේකය ද වේ. සික්ඛා යනු: අධිශීලශික්ෂා යැ අධිචිත්තශික්ෂා යැ අධිප්රඥාශික්ෂා යැයි ශික්ෂා තුනෙකි... මෝ අධිප්රඥාශික්ෂා යි. විවෙකඤ්ඤෙව සික්ඛෙථ - විවේකයෙහි මැ හැසිරෙන්නේය වෙසෙසින් හැසිරෙන්නේය, සමාදන්ව පවත්නේ ය, හික්මෙන්නේ නුයි ‘විවෙකඤ්ඤෙව සික්ඛෙථ’ යනු වේ.
එතදරියානමුත්තමං - බුදුවරු ද බුදුසව්වෝ ද පසේබුදුවරු ද ආර්ය්යයෝ යැයි කියනු ලැබෙත්. ආර්ය්යයන්ගේ යම් විවෙකවාසයෙක් වේ ද මෙය අග්ර යැ ශ්රේෂ්ඨ යැ අතිශ්රේෂ්ඨ යැ ප්රමුඛ යැ උත්තම යැ ප්රවර නුයි ‘එතදරියානමුත්තමං’ යනු වේ.
තෙන සෙට්ඨො න මඤ්ඤෙථ - ඒ විවේකයෙහි යෙදීමෙන් (තමා) උසස් නො කරන්නේ යැ නො නඟන්නේ යැ මානය නො කරන්නේ යැ බල නො කරන්නේ යැ දැඩි නො කරන්නේ යැ එයින් මානය නූපදවන්නේ යැ එයින් තද වූයේ වෙසෙසින් තද වූයේ ඔසවාගත් හිස ඇත්තේ නො වන්නේ නුයි ‘තෙන සෙට්ඨො න මඤ්ඤෙථ’ යනු වේ.
ස වෙ නිබ්බානසත්තිකෙ - හෙතෙම නිවන සමීපයෙහි වැළත අසල නුදුරැ ළඟ නුයි ‘ස වෙ නිබ්බානසත්තිකෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“විවෙකඤ්ඤෙව සික්ඛෙථ -පෙ- ස වෙ නිබ්බානසත්තිකෙ” යි.
7. 10.
කෙලෙසුන් කෙරෙන් සිස් වූ එකලා වැ හැසිරෙන කාමයන්හි අපේක්ෂා රහිත වූ චතුරෝඝතරණය කළ ක්ෂීණාස්රව මුනි හට කාමයන්හි ගෙතුණා වූ සත්ත්වයෝ කැමැති වෙත්.
රිත්තස්ස මුනිනො චරතො - ‘රිත්තස්ස’ යනු: කායදුශ්චරිතයෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුට, වාග්දුශ්චරිතයෙන් - මනෝදුශ්චරිතයෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුට, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්රෝධයෙන් වෛරයෙන් මකුබැවින් යුගග්රාහයෙන් ඊර්ෂ්යායෙන් මසුරුබැවින් ශඨබැවින් තදබැවින් එකටෙක කිරීමෙන් මානයෙන් අධිමානයෙන් මදයෙන් ප්රමාදයෙන් සියලු කෙලෙසුන් ගෙන් සියලු දුසිරිත් වලින් සියලු දරථවලින් සියලු පරිදාහයන්ගෙන් සියලු සන්තාපයන්ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුගේ; මුනිනො ‘මොන’යී ඥානය කියනු ලැබෙයි... චරතො හැසිරෙනුවහුගේ වෙසෙන - ඉරියවු පවත්වන - පැවැතෙන - රැකෙන - යැපෙනුවහුගේ නුයි ‘රිත්තස්ස මුනිනො චරතො’ යනු වේ.
කාමෙසු අනපෙක්ඛිනෝ - ‘කාමා’ යනු: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි... වස්තුකාමයන් හැඳිනැ ක්ලේශකාමයන් හැරපියා දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා කාමයන්හි අපේක්ෂා නැතියේ ත්යාග කළ කාම ඇතියේ වමනය කළ - මුදන ලද - ප්රහීණ කළ - දුරලන ලද කාම ඇතියේ වීතරාග වූයේ ත්යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්රහීණරාග වූයේ දුරලන ලද රාග ඇතියේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ උතුම් වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘කාමෙසු අනපෙක්ඛිනෝ’ යනු වේ.