7. 7.
පෙර පණ්ඩිතයෙකැ’යි ප්රසිද්ධ වූයේ එකලා වාසයෙහි පිහිටියේ යළි මෙවුන්දම්හි යෙදුණේ වී නම් හෙතෙම මූඪයකු මෙන් කෙලෙසෙන්නේ යි.
පණ්ඩිතොති සමඤ්ඤාතො - මේ සසුන්හි කිසිවෙක් පෙර මහණුවම් කරන කල්හි කීර්ති සඞ්ඛ්යාත යශසට පැමිණියේ වෙයි; පණ්ඩිතයෙක් ව්යක්තයෙක නුවණැත්තෙක බහුශැතයෙක චිත්රකථිකයෙක සුන්දරප්රඥා ඇත්තෙක සෞත්රාන්තික යැ හෝ විනයධර යැ හෝ ධර්මකථික යැ හෝ... නෛවසංඥානාසංඥායතනසමාපත්තිලාභියෙකැයි හෝ මෙසේ දන්නා ලදුයේ පැනුණේ ප්රසිද්ධ වේ නුයි ‘පණ්ඩිතොති සමඤ්ඤාතො’ යනු වේ.
එකචරියං අධිට්ඨිතො - දෙකරුණෙකින් එකචර්ය්යාවෙහි පිහිටියේ: ප්රව්රජ්යාසඞ්ඛ්යාත වූ හෝ ගණයා කෙරෙන් වෙන් ව විසීම් සඞ්ඛ්යාත වූ හෝ දෙකරුණෙනි. කෙසේ ප්රව්රජ්යාසඞ්ඛ්යාත කරුණෙන් එකචර්ය්යාවෙහි පිහිටියේ ද යත්? සියලු ගෘහාවාසපරිබොධය සිඳපියා...(7. 3. සූත්රනිර්දේශය) මෙසේ පැවිදිකොටසින් එකලාවාසයෙහි පිහිටියේ; කෙසේ ගණව්යවස්සර්ගාර්ත්ථයෙන් එකචර්ය්යාවෙහි පිහිටියේ ද යත්? හෙතෙම මෙසේ පැවිදි වූයේ එකලා වැ... මෙසේ ගණව්යවස්සර්ගාර්ත්ථයෙන් එකචර්ය්යාවෙහි පිහිටියේ නුයි ‘එකචරියං අධිට්ඨිතො’ යනු වේ.
සචාපි මෙථුනෙ යුත්තො - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්මයෙක් ග්රාමධර්මයෙක් වසලධර්මයෙක්... එහෙයින් ‘මෙථුනධම්ම’ යයි කියනු ලැබේ. සචාපි මෙථුනෙ යුත්තො - හේ පසු කලෙක බුදුන් දහම් සඟුන් ශික්ෂාව හැරපියා ගිහිබවට පෙරැළී මෙවුන්දම්හි යෙදුණේ සංයුක්ත ප්රයුක්ත ආයුක්ත සමායුක්ත වූ යේ නුයි ‘සචාපි මෙථුනෙ යුත්තො’ යනු වේ.
මන්දොව පරිකිස්සතී - කෘපණයකු මෙන් අඥයකු මෙන් මුග්ධයකු මෙන් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ප්රාණවධ දු කෙරෙයි, අදත්තාදානය ද කෙරෙයි, ගෘහසන්ධි දු සිඳී, ගම් පහරයි, ගෙවල් පහරයි, මං පහරයි, පරඹුන් කරා ද යෙයි, මෘෂා ද බෙණෙයි; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ඒ (අපරාධ කරු) රජවරු අල්වාගෙන විවිධ කම්කටොලු කරවති: කසයෙනුදු තළවති, වේවැලිනු දු තළවති, අඩදඬියෙනු දු තළවති, අත් සිඳුවති, පා සිඳුවති, අත්පා ද සිඳුවති, කනු දු සිඳුවති, නැහැය ද සිඳුවති, කන්නාසා ද සිඳුවති, කාඩිසැළි කම්කටොලු ද කෙරෙති, සක්මුඩු කම්කටොලු ද කෙරෙති, රාහුමුඛ කම්කටොලු ද කෙරෙති, ගිනිවළලු කම්කටොලු ද කෙරෙති, අත් දල්වන කම්කටොලු ද කෙරෙති, එරුවත් කම්කටොලු ද කෙරෙති, තීහිරිවත් කම්කටොලු ද කෙරෙති, එණෙය්යක කම්කටොලු ද කෙරෙති, බිළියෙන් මස් සිඳුණා කම්කටොලු ද කෙරෙති, කහාපණික කම්කටොලු ද කෙරෙති, කොස්සෙන් කාරම් ගල්වති, පරිඝපරිවර්තන කම්කටොලු ද කෙරෙති, පිදුරුපිටු කම්කටොලු ද කෙරෙති, කකාළ තෙල් ද ඉස්වති, ශුනකයන් (-කීණබල්ලන්) ලවා කවති, දිවස්හුල ද හිඳුවති, කඩුවෙනු දු හිස සිඳිත්; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. නොහොත් කාමතෘෂ්ණාවෙන් මඩනා ලදුයේ හාත්පසින් අල්වාගත් සිත් ඇතියේ භෝගයන් සොයමින් නැවින් මහමුහුදට පිවිසෙයි, සීතල පෙරටු කොට උණුසුම පෙරටු කොට මැසිමදුරු අව්සුළං හා සපුන් ගේ පහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් තිගුම්බජනපදයට යෙයි, තක්කොලයට - තක්ෂිශිලාවට - කාලමුඛයට - පරාංමුඛයට - වෙසුඞ්ගයට - වෙරාපථයට - ජාවකරටට - තාමලිප්තියට - වංගරටට - එළවද්ධනයට - ස්වර්ණකූටයට - ස්වර්ණභූමියට - තාම්රපර්ණණියට - සුප්පාරකයට - භරුකච්ඡජනපදයට - සෞරාෂ්ට්රයට - අඞ්ගලොකයට - ගඞ්ගණයට - පරමගඞ්ගණයට - යවනරටට - පරමයවනයට - අලසන්දාවට - නවකජනපදයට - මූලපදරටට යෙයි,