7. 6.
ඉක්බිති අන්‍යයන් ගේ චවනයෙන් චෝදනා කරන ලදුයේ දුශ්චරිත නමැති ශස්ත්‍රයන් කෙරෙයි, තෙල ඔහු ගේ මහාබන්‍ධනය තෙමේ මෘෂාවාදයට බැසගන්නේ වේ.
අථ සත්‍ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො - ‘අථ’ යනු: පදයන් ගේ සන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා නමැ තෙල ‘අථ’ යනු. සත්‍ථානි - කායශස්ත්‍ර යැ වාක්ශස්ත්‍ර යැ මනශ්ශස්ත්‍ර යැයි ශස්ත්‍ර (ආයුධයෝ) තිදෙනෙකි. ත්‍රිවිධ කායදුශ්චරිතය කායශස්ත්‍ර යැ චතුර්විධ වාග්දුශ්චරිතය වාක්ශස්ත්‍ර යැ ත්‍රිවිධ මනෝදුශ්චරිතය මනශ්ශස්ත්‍රය යි.
පරවාදෙහි චොදිතො - උපාධ්‍යායයන් විසින් හෝ ආචාර්‍ය්‍යයන්- සමානොපාධ්‍යායකයන් - සමානාචාර්‍ය්‍යකයන් - මිත්‍රයන් - සන්දෘෂ්ටයන් - සම්භක්තයන් - සහායයන් විසින් හෝ චෝදනා කරන ලදුයේ දැනැ දැනැ බොරු කියයි: ස්වාමීනි, මම් පැවිද්දට ඇලුම් ඇති වීමි, (එහෙත්) මා විසින් මව පෝෂණය කළ යුත්තීය, එහෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘පියා මා විසින් පෝෂණය කළ යුතු හෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘බෑයා මා විසින් පෝෂණය කළ යුතු හෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘භගිනිය මා විසින් පෝෂණය කළ යුත්තීය,යි කියයි. ‘පුත්‍රයා මා විසින් පෝෂණය කළ යුත්තේය, දුහිතෘව මා විසින් පෝෂණය කළ යුත්තීය, මිත්‍රයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, සගයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, නෑයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, සහලේනෑයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, එහෙයින් සිවුරු හළෙමී’ කියයි; වචන අවිය කෙරෙයි, මොනවට කෙරෙයි, උපදවයි මැනවින් උපදවයි නිපදවයි මැනවින් නිපදවා නුයි ‘අථ සත්‍ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො’ යනු වේ.
එසඛවස්ස මහාගෙධො - යම් සම්පජාන මුසාවාදයෙක් වේ ද, තෙල වනාහි ඔහුගේ මහාගෙධ(=බන්‍ධ) යැ මහාවන යැ මහළැහැබ යැ මහත් කාන්තාර යැ මහද්විෂම යැ මහාපඞ්ක යැ මහමඩවළ යැ මහහැළ යැ මහාදුර්‍ගයැ මහාබන්‍ධනය නුයි ‘එසඛවස්ස මහාගෙධො’ යනු වේ.
මොසවජ්ජං පගාහති - මුසාවාද ය ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි. මෙලොවැ කිසිවෙක් සභායෙහි සිටියේ හෝ ගම් සභායෙහි සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සේනා මැද සිටියේ හෝ රදොල් මැද සිටියේ හෝ ශාක්‍ෂියට කැඳවනු ලදුයේ ‘එව එම්බා පුරුෂය, දන්නා දැය කිය’යි ශාක්‍ෂි අසන ලදුයේ හෙතෙම නො දනිමින් හෝ දනිමී’ කියයි, දනිමින් හෝ ‘නො දනිමී’ කියයි, නො දක්මින් හෝ ‘දක්මී’ කියයි, දක්මින් හෝ ‘නො දක්මී’ කියයි; මෙසේ තමා නිසා හෝ මෙරමා නිසා හෝ ධනය නිසා හෝ මඳ වූ අල්ලසක් නිසා හෝ දැනැ දැනැ බොරු කියයි. මේ ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි. තවද තුන් අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘බොරුවක් කියන්නෙමී’ සිත වෙයි, කියන්නා හට ‘මෘෂා (බොරු) බෙණෙමී’සිත වෙයි, කීවහුට, ‘මෘෂා මා විසින් කියන ලදැ’යි සිත වෙයි; මේ තුන් අයුරින් මෘෂාවාද වේ. තවද සතර අයුරෙකින් මෘෂාවාද වෙයි: පළමු මැ ඔහුට ‘මෘෂා බණන්නෙමී’ සිත වෙයි. කියන්නා හට මෘෂා බෙණෙමී’ සිත වෙයි, කීවහුට ‘මෘෂා මා විසින් බණන ලදැ’යි සිත වෙයි. ලබ්ධිය සඟවාගෙන කියයි. මේ සතර අයුරින් මෘෂාවාද වේ. තවද පස් පරිද්දෙකින් - සපරිද්දෙකින් - සත්පරිද්දෙකින් - අට පරිද්දෙකින් මෘෂාවාද වෙයි. පළමු මැ ඔහුට බොරු කියන්නෙමී’ සිත වෙයි. කියන්නහුට ‘බොරු කියමී’ සිත වෙයි. කීවහුට ‘බොරු මා විසින් කියන ලදැ’යි සිත වෙයි. ලබ්ධිය සඟවා කියයි. කැමැත්ත සඟවා කියයි, රුචිය සඟවා කියයි, සංඥාව සඟවා කියයි, භාවය සඟවා කියයි. මේ අට අයුරින් මෘෂාවාද වේ. මොසවජ්ජං පගාහති - මෘෂාවාදයට බසී බැසගනී ඇතුළු වෙයි පිවිසේ නුයි ‘මොසවජ්ජං පගාහති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අථ සත්‍ථානි කුරුතෙ -පෙ- මොසවජ්ජං පගාහති” යී.
7. 7.
පෙර පණ්ඩිතයෙකැ’යි ප්‍රසිද්ධ වූයේ එකලා වාසයෙහි පිහිටියේ යළි මෙවුන්දම්හි යෙදුණේ වී නම් හෙතෙම මූඪයකු මෙන් කෙලෙසෙන්නේ යි.
පණ්ඩිතොති සමඤ්ඤාතො - මේ සසුන්හි කිසිවෙක් පෙර මහණුවම් කරන කල්හි කීර්ති සඞ්ඛ්‍යාත යශසට පැමිණියේ වෙයි; පණ්ඩිතයෙක් ව්‍යක්තයෙක නුවණැත්තෙක බහුශැතයෙක චිත්‍රකථිකයෙක සුන්‍දරප්‍රඥා ඇත්තෙක සෞත්‍රාන්තික යැ හෝ විනයධර යැ හෝ ධර්‍මකථික යැ හෝ... නෛවසංඥානාසංඥායතනසමාපත්තිලාභියෙකැයි හෝ මෙසේ දන්නා ලදුයේ පැනුණේ ප්‍රසිද්ධ වේ නුයි ‘පණ්ඩිතොති සමඤ්ඤාතො’ යනු වේ.