7. 5.
කාමාදි සංකල්පයන් විසින් මඩනා ලද ඒ සිවුරලු තෙම දිළින්දකු සෙයින් සිතයි, එබඳු පුද්ගල තෙම උපාධ්යායාදි අන්යයන් ගේ වදන් අසා මකු වන්නේ යි.
සඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති - කාමසඞ්කල්පයෙන් ව්යාපාදසඞ්කල්පයෙන් විහිංසාසඞ්කල්පයෙන් දෘෂ්ටි සඞ්කල්පයෙන් ස්පර්ශ කරන ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්වාගත වූයේ පිහිත වූයේ, කපණො විය: අඥානයකු මෙන් සම්මෝහ වූවකු මෙන් සිතයි, අතිශයින් සිතයි, අනෙකප්රකාරයෙන් සිතයි, එයින් බැහැරව සිතයි; යම්සේ මහමුහුණෙක් අතු අග මීයකු බලමින් සිතා ද අතිශයින් සිතා ද අනෙකප්රකාරයෙන් සිතා ද බැහැර සිතා ද, යම්සේ සිවලෙක් ගංඉවුරෙහි මසුන් සොයමින් ධ්යාන ප්රධ්යාන නිධ්යාන අපධ්යාන කෙරේ ද, යම්සේ බළලෙක් ගෘහසන්ධි - දියනැසිනි - කසළගොඩෙහි මීයකු සොයමින් ධ්යාන ප්රධ්යාන නිධ්යාන අපධ්යාන කෙරේ ද, යම්සේ කොඳුඇට සිදුණු කොටළුවෙක් සන්ධි - නැසිනි - කසළගොඩෙහි ධ්යාන - ප්රධ්යාන නිධ්යාන - අපධ්යාන කෙරේ ද, එසෙයින් ම ඒ සිවුරලු තෙම කාමසඞ්කල්පයෙන් ව්යාපාදසඞ්කල්පයෙන් විහිංසාසඞ්කල්පයෙන් දෘෂ්ටිසඞ්කල්පයෙන් ස්පර්ශ කරන ලදුයේ යුක්ත වූයේ ඇතුළත පිවිසියේ සමන්විත වූයේ පිහිත වූයේ කෘපණයකු මෙන් අඥානයකු මෙන් සම්මූඪ වූවකු මෙන් සිතයි අතිශයින් සිතයි නොයෙක් ලෙසින් සිතයි ඉන් බැහැරව සිතා නුයි ‘සඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති’ යනු වේ.
සුත්වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො - ‘පරෙසං’ යනු: උපාධ්යායයෝ හෝ ආචාර්ය්යයෝ හෝ සමානොපාධ්යායකයෝ හෝ සමානාචාර්ය්යකයෝ හෝ මිත්රයෝ හෝ සන්දෘෂ්ටයෝ හෝ සම්භක්තයෝ හෝ සහායයෝ හෝ (මෙසේ) චෝදනා කෙරෙති: “ඇවැත්නි, තෙපි යම්හෙයකින් මෙබඳු උදාර වූ ශාස්තෘවක්හු ලැබ මෙසේ ස්වාඛ්යාත ශාසනයක පැවිදිව මෙබඳු ආර්ය්යධනයක් ලැබත් ඒ මෙවුන්දම් හේතුයෙන් බුදුන් දහම් සඟුන් ශික්ෂාව හැරපියා හීනබවට පෙරළුණාව, තොපට කුසල් දහම්හි ශ්රද්ධාවකු දු නො වීය. කුසල්දහම්හි ලජ්ජාවකු දු නො වීය, කුසල්දහම්හි බියකු දු නො වීය, කුසල්දහම්හි වීර්ය්යයකු දු නො වීය, කුසල්දහම්හි සිහියකු දු නො වීය, කුසල්දහම්හි ප්රඥාවකු දු නො වීය, ඒ තොපට අලාභයෙක, ඒ තොප විසින් දුර්ලබ්ධ යැ” යි ඔවුන් ගේ වචනය වදන්මඟ දෙසුම අනුසස්න අනුශිෂ්ටිය; සුත්වා - අසා උගෙන විමසා සලකා; මඞ්කු හොති - පෙළුණේ ගැටුණේ වෙසෙසින් පෙළුණේ උපන් දොම්නස් ඇතියේ; තථාවිධො - එබඳු වූ තාදෘශ වූ එසේ සිටි තත්ප්රකාර වු, තත්ප්රතිභාග වූ ඒ සිවුරලු තෙමේ නුයි ‘සුත්වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථා විධො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සඞ්කප්පෙහි පරෙතො සො -පෙ- මඞ්කු හොති තථාවිධො” යී.
7. 6.
ඉක්බිති අන්යයන් ගේ චවනයෙන් චෝදනා කරන ලදුයේ දුශ්චරිත නමැති ශස්ත්රයන් කෙරෙයි, තෙල ඔහු ගේ මහාබන්ධනය තෙමේ මෘෂාවාදයට බැසගන්නේ වේ.
අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො - ‘අථ’ යනු: පදයන් ගේ සන්ධි යැ පදසංසර්ග යැ පදපාරිපූරි යැ අක්ෂරසමවාය යැ ව්යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්වතා නමැ තෙල ‘අථ’ යනු. සත්ථානි - කායශස්ත්ර යැ වාක්ශස්ත්ර යැ මනශ්ශස්ත්ර යැයි ශස්ත්ර (ආයුධයෝ) තිදෙනෙකි. ත්රිවිධ කායදුශ්චරිතය කායශස්ත්ර යැ චතුර්විධ වාග්දුශ්චරිතය වාක්ශස්ත්ර යැ ත්රිවිධ මනෝදුශ්චරිතය මනශ්ශස්ත්රය යි.
පරවාදෙහි චොදිතො - උපාධ්යායයන් විසින් හෝ ආචාර්ය්යයන්- සමානොපාධ්යායකයන් - සමානාචාර්ය්යකයන් - මිත්රයන් - සන්දෘෂ්ටයන් - සම්භක්තයන් - සහායයන් විසින් හෝ චෝදනා කරන ලදුයේ දැනැ දැනැ බොරු කියයි: ස්වාමීනි, මම් පැවිද්දට ඇලුම් ඇති වීමි, (එහෙත්) මා විසින් මව පෝෂණය කළ යුත්තීය, එහෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘පියා මා විසින් පෝෂණය කළ යුතු හෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘බෑයා මා විසින් පෝෂණය කළ යුතු හෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘භගිනිය මා විසින් පෝෂණය කළ යුත්තීය,යි කියයි. ‘පුත්රයා මා විසින් පෝෂණය කළ යුත්තේය, දුහිතෘව මා විසින් පෝෂණය කළ යුත්තීය, මිත්රයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, සගයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, නෑයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, සහලේනෑයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, එහෙයින් සිවුරු හළෙමී’ කියයි; වචන අවිය කෙරෙයි, මොනවට කෙරෙයි, උපදවයි මැනවින් උපදවයි නිපදවයි මැනවින් නිපදවා නුයි ‘අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො’ යනු වේ.