6. 6.
මමත්‍වය කළ වස්තු විෂයෙහි ගිජු වූවාහු ශොකපරිදෙවමාත්සර්‍ය්‍යය යම් හෙයකින් නො හරිත් ද, එහෙයින් මුනීහු තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහය හැරපියා ක්‍ෂෙමසඞ්ඛ්‍යාත නිවන දකිමින් විසූහ.
සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ - ‘සෝක’ නම්: ඥාතීන්ගේ විනාශයෙන් මඩනා ලද්දහුගේ හෝ භෝගයන්ගේ විනාශයෙන් මඩනා ලද්දහු ගේ හෝ රොගව්‍යසනයෙන් - ශීලව්‍යසනයෙන් - දෘෂ්ටිව්‍යසනයෙන් මඩනා ලද්දහුගේ හෝ මිත්‍රව්‍යසනාදි යම් කිසි ව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ හෝ යම් කිසි දුක්හෙතුවකින් මඩනා ලද්දහුගේ හෝ ශෝකයෙක් ශෝක කරන අයුරෙක් ශෝක කරන බවෙක් අභ්‍යන්තරශොකයෙක් සිත තුළ අධිකශොකයෙක් අභ්‍යන්තරදාහයෙක් අභ්‍යන්තරපරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක් වේ නම් එයයි. ‘පරිදේව’ නම්: නෑයන්ගේ වනසින් මඩනා ලද්දහුගේ හෝ... දෘෂ්ටිව්‍යසනයෙන් - යම් කිසි ව්‍යසනයෙකින් යුක්ත වූවහු ගේ හෝ යම් කිසි දුඃඛහෙතුවකින් මඩනා ලද්දහුගේ හෝ හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් හඬන අයුරෙක් හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කියන බවෙක් වේ නම් එය යි. මච්ඡරියං - මාත්සර්‍ය්‍ය:... (2-3 සූත්‍ර නිර්‍දෙශය.) මේ මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ.
ගේධ යයි තෘෂ්ණාව කියනු ලබයි,... යම් රාගයෙක් සංරාගයෙක්... ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. මමත්තා - තෘෂ්ණාමමත්‍වය ද දෘෂ්ටිමමත්‍වය දැයි මමත්‍ව දෙකෙකි, ... මමත්‍වය කළ වස්තුව අසිඳගනිතී සැක ඇතිව ද සොවිති, අසිඳුනා කල්හි දු සොවිති, අසිඳගත් කල්හි දු සොවිත්. මමායිත වස්තුව වෙනස් වෙතී සැක ඇතිව ද සොවිති, වෙනස් වන කල්හි දු සොවිති, වෙනස් වූ කල්හි දු සොවිත්; මමායිත වස්තුව අසිඳගනිතී සැක ඇතිව ද හඬති, අසිඳුනා කල්හි දු හඬති, අසිඳගත් කල්හි දු හඬත්; මමත්‍වය කළ වස්තුව වෙනස් වෙතී සැක ඇතිව ද හඬති, වෙනස් වන කල්හි දු හඬති, වෙනස් වූ කල්හි දු හඬත්; මමත්‍වය කළ වස්තුව රකිති ගෝපනය කෙරෙති විමසති මමායන කෙරෙති මච්ඡරායන කෙරෙති. මමායිත වස්තුවිෂයෙහි ශෝකය නො හරිති, පරිදේව නො හරිති, මසුරුබව නො හරිති, ගිජුබව නො හරිති, නො දුරු කෙරෙති නො බැහර කෙරෙති කෙළවර නො කෙරෙති අනභාවයට නො පමුණුවත් නුයි ‘සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ’ යනු වේ.
තස්මා මුනයො පරිග්ගහං හිත්‍වා අචරිංසු ඛෙමදස්සිනො - තස්මා - එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මමායිත වස්තුවිෂයෙහි තෙල ආදීනවය දක්නාහු නුයි ‘තස්මා’ යනු වේ. මුනයො - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂ දැනීමෙක්... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. ඒ නුවණින් සමන්‍විත වූ මුනීහු මොනප්‍රාප්තයෝ යි. මෝනෙය්‍ය තුනෙකි: කායමෝනෙය්‍ය වචීමොනෙය්‍ය මනෝමෝනෙය්‍ය යයි...(2. 8. සූත්‍රනිර්දේශය.) පරිග්ගහො - පරිග්‍රහයෝ දෙදෙනෙකි: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි,... මුනීහු තෘෂ්ණාපරිග්‍රහය හැරපියා දෘෂ්ටිපරිග්‍රහය දුරලා ත්‍යාග කොට හැර බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා හැසුරුණාහ වෙසෙසින් හැසුරුණාහ ඉරියවු පැවැත්වූහ පාලන - යපන - යාපන කළහ. ඛෙමදස්සිනො - ‘ඛේම’ යී අමාමහනිවන කියනු ලැබෙයි, සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම ඇති සියලු උපධීන්ගේ දුරලීම ඇති තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයයි. ඛෙමදස්සිනො - ක්‍ෂේමය දක්නාහු ත්‍රාණය - ලෙනය - ශරණය - අභය - අච්‍යුතය - අමෘතය - නිර්‍වාණය දක්නාහු නුයි - ‘තස්මා මුනයො පරිග්ගහං හිත්‍වා අචරිංසු ඛෙමදස්සිනො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සොකපරිදෙවමච්ඡරං -පෙ- හිත්‍වා අචරිංසු ඛෙමදස්සිනො” යී.
6. 7.
ඒ ඒ අරමුණෙන් වැළැහූ සිත්හසර ඇති විවෙක අසුනක් සෙවුනා වූ ශෛක්‍ෂ මහණ හට ද නිරයාදි භවනයෙහි (ප්‍රතිසන්‍ධි විසින්) තමා නොදක්වන ඒ රහත් මහණ හට ද නිර්‍වාණසාමග්‍රියෙහි ලා මේ (නිරයාදි භවනයෙහි තමා නොදැක්වීම) අනුරූප යයි කියත්.