6. 7.
ඒ ඒ අරමුණෙන් වැළැහූ සිත්හසර ඇති විවෙක අසුනක් සෙවුනා වූ ශෛක්‍ෂ මහණ හට ද නිරයාදි භවනයෙහි (ප්‍රතිසන්‍ධි විසින්) තමා නොදක්වන ඒ රහත් මහණ හට ද නිර්‍වාණසාමග්‍රියෙහි ලා මේ (නිරයාදි භවනයෙහි තමා නොදැක්වීම) අනුරූප යයි කියත්.
පතිලීනචරස්ස භික්ඛුනෝ - සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙත්. රහත්හු පතිලීනයහ. කුමක් හෙයින් සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙති යත්? ඔහු ඒ ඒ අරමුණෙන් සිත නවතමින් හකුළුවමින් පෙරළමින් අවුරමින් නිගන්මින් වළහමින් රක්මින් ගෝපනය කෙරෙමින් හැසිරෙති ඉරියවු පවත්වති පාලනය - යපනය - යාපනය කෙරෙත්, චක්‍ෂුර්ද්වාරයෙහි සිත නවතමින් හකුළුවමින් හකුළමින් අවුරමින් නිගන්මින් වළහමින් රක්මින් ගෝපනය කෙරෙමින් සෙරෙති හැසිරෙති ඉරියවු පවත්වති ඉරියවු උපදවති පාලනය කෙරෙති යපනය යාපනය කෙරෙති, ශ්‍රොතද්වාරයෙහි සිත...ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනෝ - ද්වාරයෙහි සිත නවතමින් (පස්බස්වමින්) ... පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත්. යම්සේ කුකුළුපතෙක් හෝ නහරදුදුලෙක් හෝ ගින්නෙහි ලන ලදුයේ හැකිළේ ද, නො පැතිරේ ද, එසෙයින් ම ඒ (පතිලීනචරයෝ) ඒ ඒ අරමුණෙන් සිත නවතමින් හකුළුවමින් ... වෙසෙති ... යැපෙත්. චක්‍ෂුර්ද්වාරයෙහි ... ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනෝද්වාරයෙහි සිත නවතමින්... හැසිරෙති... යැපෙත්. එකරුණෙන් සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙත්. භික්ඛුනෝ - කල්‍යාණපෘථග්ජන භික්‍ෂුහුගේ හෝ ශෛක්‍ෂභික්‍ෂුහුගේ හෝ නුයි ‘පතිලීනචරස්ස භික්ඛුනෝ’ යනු වේ.
භජමානස්ස විවිත්තමාසනං - ඇඳ පුටු බිසි පත්කඩ සම්කඩ තණඇතිරි පන්ඇතිරි පිදුරුඇතිරි යන මේ හිඳිනා තැන ‘ආසන’ යයි කියනු ලැබේ, ඒ අසුන අසත්ප්‍රාය (=නොසරුප්) රූප දැකීමෙන් සිස් යැ ශුන්‍ය යැ වෙසෙසින් ශුන්‍ය යැ, අසත්ප්‍රායශබ්දශ්‍රවණයෙන් - අසත්ප්‍රාය - ගන්‍ධාඝ්‍රාණයෙන් - අසත්ප්‍රාය රස විඳීමෙන් අසත්ප්‍රාය ස්පර්‍ශයෙන් - අසත්ප්‍රාය වූ ස්ත්‍රීන් පිළිබඳ රූපාදි පඤ්චකාමගුණයන්ගෙන් සිස් යැ ශුන්‍ය යැ වෙසෙසින් ශුන්‍ය යි, ඒ විවික්ත (=ශුන්‍ය) වූ අසුන සෙවුනා හට මැනැවින් සෙවුනා හට එළඹෙනුවහුට නිවෙසනය කරනුවහුට මැනැවින් සේවනය කරනුවහුට පුනපුනා ඇසුරු කරනුවහුට නුයි ‘භජමානස්ස විවිත්තමාසනං’ යනු වේ.
සාමග්ගියමාහු තස්සෙතං යො අත්තානං භවනෙ න දස්සයෙ - ‘සාමග්ගි’ - තුන් සාමග්‍රි කෙනෙක් වෙති: ‘ගණසාමග්ගි ධම්මසාමග්ගි අනභිනිබ්බත්තීසාමග්ගි යැයි. ‘ගණසාමග්ගි කවරී ද යත්? ඉදින් බොහෝ භික්‍ෂූහු නමුදු කයින් සමඟ වූවාහු සිතින් සතුටු වන්නාහු බසින් විවාද නො කරන්නාහු කිරි මුසු දිය මෙන් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වෙසෙත් නම්, මෝ ගණසාමග්ගි නමු. ‘ධම්මසාමග්ගි’ කවරී ද යත්? සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යන මොහු යි, ඔවුහු එක අරමුණෙහි පිවිසෙති පහදිති පිහිටා සිටිති විමුක්තියට පැමිණෙත්. ඒ ධර්‍මයන්ගේ විවාදයෙක් ප්‍රකර්‍ෂවිවාදයෙක් නැති, මෝ ‘ධම්මසාමග්ගි’ නමු.