6. 1.
මිනිසුන්ගේ මේ ජීවිතය ඒකාන්තයෙන් අල්ප වෙයි. අවුරුදු සියයකින් මෙපිට (කලලාදි කාලයෙහි දු) මැරෙයි. ඉදින් යමෙක් සියක් වස් ඉක්මවා ජීවත් වේ නම්, එකල හෙතෙම ජරාවෙන් නමුදු මියන්නේ යි.
අප්පං වත ජීවිතං ඉදං - ‘ජීවිතං’ යනු: (අරූපධර්‍මයන්ගේ) ආයුසය සිටීම යපනය යාපනය (=යැපීම) ඉරීයනය පැවැත්ම පාලනය ජීවිතය ජීවිතේන්‍ද්‍රිය යි. තවද, දෙ කරුණෙකින් ජීවිතය අල්ප වෙයි: ස්ථිතික්‍ෂණය මඳ බැවින් හෝ ජීවිතය අල්ප යැ, කෘත්‍යලක්‍ෂණ හෝ සම්පත්තිලක්‍ෂණ රසය මඳ බැවින් හෝ ජීවිතය අල්ප යි. කිසෙයින් ස්ථිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි යත්? අතීත චිත්තක්‍ෂණයෙහි ජීවත් විය, ජීවත් නො වෙයි, ජීවත් නො වන්නේ ය; අනාගත චිත්තක්‍ෂණයෙහි ජීවත් වන්නේ යැ, ජීවත් නො වෙයි, ජීවත් නො වී; වර්‍තමාන චිත්තක්‍ෂණයෙහි ජීවත් වෙයි, ජීවත් නො වී, ජීවත් නො වන්නේ යි.
1. (සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ජීවිතය ද, (රූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මය ද, (වේදනාස්කන්‍ධ සඞ්ඛ්‍යාත) සුවදුක් ද, (ධුවසුඛසුභත්තභාව රහිත හෙයින්) කේවල වූවාහු (විඥානස්කන්‍ධ සඞ්ඛ්‍යාත) එක් සිතක් සමග යෙදුණාහු ඒ (ජීවිතාදීන්ගේ) ක්‍ෂණය අල්ප වශයෙන් පවත්නේ යැ.
2. යම් දෙවි කෙනෙක් කප් සුවාසූදහසක් ආයු ගෙන (නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි) සිටිත් නම්, ඔහු පවා දෙ සිතෙකින් යුක්ත වූවාහු නො මැ ජීවත් වෙති.
3. මෙ ලොවැ මළහුගේ හෝ ජීවත් වන්නහුගේ හෝ යම් ස්කන්‍ධ කෙනෙක් නිරුද්ධ වූවාහු ද, (ච්‍යුතියෙන් උඩ නිරුද්ධ වූ හෝ) ප්‍රවෘත්තියෙහි නිරුද්ධ වූ හෝ ඒ සියලු මැ ස්කන්‍ධයෝ ගියාහු අප්‍රතිසන්‍ධිකයෝ යැයි කියනු ලැබෙත්.
4. යම් ස්කන්‍ධ කෙනෙක් අනන්තර (=අතීත) වැ සිට බිඳී ගියාහු ද, යම් අනාගත ස්කන්‍ධ කෙනෙකුත් බිඳී යන්නාහු ද, ඒ අතුරැ නිරුද්ධ වූ වර්‍තමානස්කන්‍ධයන්ගේ ලක්‍ෂණයෙහි විෂම බවෙක් (=නානාත්‍වයෙක්) නැති.
5. නූපන් අනාගතස්කන්‍ධයෙන් නූපන්නේ යැ, ක්‍ෂණප්‍රත්‍යුත්පන්න වූ වර්‍තමානස්කන්‍ධයෙන් ජීවත් වෙයි, ලෝවැසි තෙම චිත්තයාගේ බිඳීමෙන් මළේ තම, (දත්ත මළේය, තිස්ස මළේය යන) ප්‍රඥප්තිය චිත්තභඞ්ගසඞ්ඛ්‍යාත පරමාර්ත්‍ථය නිඃශ්‍රිත කොට ඇත.
6. ඡන්‍ද විසින් පරිණාමිත වූවාහු නතු වූ පරිදි පවත්නාහු යැ, ෂඩායතනප්‍රත්‍යයෙන් නුසුන් ධාරා (=සන්තති) ඇති වැ පවතිත්.
7. බිඳුණු ස්කන්‍ධයෝ නිධානයට (=රැස්වීමට) නො ගියාහු යැ, අනාගතයෙහි දු ඔවුන්ගේ රැස්වීමෙක් නැති, උපන්නාහු මැ හිදිඅගැ අබඇට සෙයින් ස්ථිතික්‍ෂනයෙහි සිටිත්.
8. ඉපැදැ පවත්නාවූ ඒ ස්කන්‍ධධර්‍මයන්ගේ ද බිඳීම පෙරටු කරන ලද්දේ යැ, නැසෙන පියවි ඇත්තාහු පැරණි ස්කන්‍ධයන් හා අමිශ්‍ර වූවාහු සිටිත්.
9. නොදක්නාහු මැ පැමිණෙති (=උපදිති). නැසීමෙන් මතු නො දක්නා බවට මැ යෙති. අහසැ විදුලි කෙටීමක් මෙන් උපදනාහු ද නැසෙන්නාහු ද වෙත්.
මෙසේ ස්ථිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
කිසෙයින් සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි යත්? ආශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, ප්‍රශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, ආශ්වාසප්‍රශ්වාස පිළිබඳ යැ ජීවිතය, පෘථිව්‍යාදි මහාභූතයන් පිළිබඳ යැ ජීවිතය, කවලීකාරාහාරය පිළිබඳ යැ ජීවිතය. උණුසුම (=කර්‍මජතෙජස) පිළිබඳ යැ ජීවිතය, භවාඞ්ගවිඥානය පිළිබඳ යැ ජීවිතය. මේ ආශ්වාසාදීන් ගේ මූලකාරණය (=හේතුව) ද දුබල යැ, මොවුන් ගේ අවිද්‍යාදි පූර්‍වහෙතූහු ද දුබලයෝ යැ, ආරම්මණාදි අසාධාරණප්‍රත්‍යයෝ ද දුබලයෝ යැ, ප්‍රධාන වැ සිට උපදවන ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොවුන්ගේ සමග උපන් රූපාරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන් ගේ එක් වැ යෙදුණු අරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන්ගේ සහජධර්‍මයෝ ද දුබලයෝ යැ, ච්‍යුතිප්‍රතිසන්‍ධි විසින් යොදවන වෘත්තමූලක වූ ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොවුහු ඔවුනොවුන් නිරතුරු දුබලයෝ යැ. මොහු ඔවුනොවුන් අනවස්ථිතයෝ යැ, මොහු ඔවුනොවුන් පිරිහෙළති, ඔවුනොවුන් රැකීමෙක් නැති, මොහු ඔවුනොවුන් නො ද සිටුවති. මොවුන්ගේ උත්පාදකධර්‍මය ද නැත්.
10. එකෙක් එකක්හුගේ වශයෙන් නො ද පිරිහෙයි. මේ සියලු මැ ස්කන්‍ධයෝ සර්‍වප්‍රකාරයෙන් බිඳීමට යායුත්තාහු යැ. මේ වර්‍තමානස්කන්‍ධයෝ පූර්‍වහෙතුප්‍රත්‍යයන් විසින් උපදවන ලද්දාහු යැ. උත්පාදක වූ ඒ පූර්‍වහෙතුප්‍රත්‍යයෝ පළමු මැ මළාහු යැ. පූර්‍වහෙතුප්‍රත්‍යයෝ ද වර්‍තමාන ප්‍රත්‍යයසමුත්පන්නයෝ ද ඔවුනොවුන් කිසි කලෙක නොදුටුවිරූහ.
මෙසේ සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
තවද - චාතුර්මහාරාජික දෙවියන්ගේ ජීවිතය පිණිස මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, ජීවිතය පරිත්ත යැ, ජීවිතය මඳ යැ, ජීවිතය ක්‍ෂණික යැ, ජීවිතය සැහැල්ලු යැ, ඉත්‍වර යැ, ජීවිතය කල් නොපවත්නේ යැ, ජීවිතය චිරස්ථායී නො වේ. ත්‍රයත්‍රිංශත් දෙවියන්ගේ - යාමදෙවියන්ගේ - තුෂිතදෙවියන්ගේ - නිර්‍මාණරතීදෙවියන්ගේ - පරනිර්‍මමිතවශවර්‍තතී දෙවියන්ගේ - බ්‍රහ්මකායික දෙවියන්ගේ ජීවිතය පිණිස මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, ජීවිතය පරිත්ත යැ, ජීවිතය මඳ යැ, ජීවිතය ක්‍ෂණික යැ, ජීවිතය ලහුක යැ, ජීවිතය ඉත්‍වර යැ, ජීවිතය අනද්ධනිය යැ, ජීවිතය අචිරස්ථායී වේ. වදාරන ලද මැනු භාග්‍යවත්හු විසින්:
“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුස අල්ප යැ, පරලොව යා යුත්තේ යැ, නුවණින් දත යුතු යැ, කුසල් කළ යුතු යැ. බඹසර සිරියැ යුතු යැ, උපන්හුගේ නොමැරීමෙක් නැති. මහණෙනි, යමෙක් කලක් ජීවත් වේ නම් හෙතෙම හවුරුදු සියයක් ජීවත් වෙයි. අධික වූයේ නම් ස්වල්පයක් මැයි.