6. 2.
සත්ත්‍වයෝ තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් මමත්‍වයෙන් ගන්නා ලද වස්තුවිෂයෙහි (=වස්තුව කරණ කොටගෙන) ශෝක කෙරෙති. එතෙකුදු වත් නිත්‍ය වූ පරිග්‍රහ කෙනෙක් නො මැ වෙති. මේ විනාභාවය විද්‍යමාන වූයේ මැ යයි දැක (නුවණැත්තේ) ගිහිගෙයි නො වසන්නේ යි.
සොචන්ති ජනා මමායිතෙ - ‘ජනා’ යනු: ක්‍ෂත්‍රිය-බ්‍රාහ්මණ-වෛශ්‍ය-ශුද්‍ර-ගෘහස්ථ-ප්‍රව්‍රජිත-දෙව-මනුෂ්‍යයෝ ය; ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්‍වය ද දෘෂ්ටිමමත්‍වය දැයි මමත්‍වයෝ දෙදෙනෙක් වෙති... මාගේ යයි ගන්නා ලද වස්තුව ‘අසිඳ ගනිති’ යන සැක ඇත්තාහු ද (සිතින්) ශෝක කෙරෙති, අසිඳුනා කල්හි දු ශෝක කෙරෙති, අසිඳගත් කල්හි දු ශෝක කෙරෙත්, මමායිත වස්තුව ‘විපරීත වෙතී’ සැක ඇත්තාහු ද ශෝක කෙරෙති, විපරීත වන කල්හි දු ශෝක කෙරෙති, විපරීත වූ කල්හි දු ශෝක කෙරෙති, වෙහෙසෙති විලාප කියති ළෙහි අත් ගසා හඬති සම්මෝහයට පැමිණෙත් නුයි - ‘සොචන්ති ජනා මමායිතෙ’ යනු වේ.
න හි සන්ති නිච්චා පරිග්ගහා - ‘පරිග්ගහා’ යනු: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි පරිග්‍රහයෝ දෙදෙනෙක් වෙති... තෘෂ්ණාපරිග්‍රහය අනිත්‍ය යැ, සංඛත (-ප්‍රත්‍යයන් විසින් කරන ලද) යැ, ප්‍රත්‍යයසාමග්‍රිය නිසා උපන, ක්‍ෂය වන සුලු යැ, නැසෙන සුලු යැ, නොඇලෙන පියවි ඇත්තේ යැ, නිරුද්ධ වන පියවි ඇත්තේ යැ, පෙරළෙන පියවි ඇත්තේ යැ; දෘෂ්ටිපරිග්‍රහය ද අනිත්‍ය යැ සංඛත යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයධර්‍ම යැ ව්‍යයධර්‍ම යැ විරාගධර්‍ම යැ නිරොධධර්‍ම යැ විපරිණාමධර්‍ම යි.
මේ වදාරන ලද්දේ මැනු, බුදුන් විසින්:
“මහණෙනි, තෙපි නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ අවිපරිණාමස්වභාව වූ යම් පරිග්‍රහයෙක් ශාශ්වතිකයක් සෙයින් එසේ ම සිටුනේ නම්, එබඳු පරිග්‍රහයක් දකිවු දැ?’යි ‘තෙල නැත් මැය වහන්ස’. සොඳුරු යැ මහණෙනි, ඇපි දු මහණෙනි, යම් පරිග්‍රහයෙක් නිත්‍ය-ධ්‍රැව-ශාශ්වත-අවිපරිණාමස්වභාව වූයේ ශාශ්වතිකයක් මෙන් එසෙයින් මැ සිටුනේ නම්, තෙල පරිග්‍රහය නො දකුම්හ”යි. පරිග්‍රහයෝ නිත්‍ය වූවාහු ස්ථිර වූවාහු ශාශ්වත වූවාහු අවිපරිණාමස්වභාව වූවාහු නැති, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත් නුයි ‘න සන්ති නිච්චා පරිග්ගහා’ යනු වේ.
විනාභාවං සන්තමෙවිදං - නානාභාවය වියොගභාවය අන්‍යථාභාවය ඇතිකල්හි විද්‍යමාන කල්හි ලැබෙන කල්හි; මේ වදාරන ලද මැ ය බුදුන් විසින්: “ආනන්‍ද, නහමක් ශෝක කර, නහමක් පරිදේවනා කර; ආනන්‍ද, මා විසින් මෙය පළමු (කලින්) මැ කියන ලද්දේ නො වේ ද, සියලු මැ ප්‍රිය මනාපයන් කෙරෙන් (ජාත්‍යාදිය හේතු කොටගෙන) නානාභාවය වියොගභාවය අන්‍යථාභාවය වෙයි. ආනන්‍ද, යමක් ජාත නම් භූත නම් ප්‍රත්‍යයෝත්පන්න නම් බිඳෙන පියවි ඇත් නම් එය නහමක් බි‍ඳේව’යි, එය කොයින් ලැබේ ද, මේ කාරණය විද්‍යමාන නො වේ”ය යි. පළමු පළමු හටගත් ස්කන්‍ධ-ධාතු-ආයතනයන්ගේ ප්‍රකෘතිය හැර අන්‍යථාත්‍වයට පැමිණීම හේතු කොට ගෙන පසු පසු වූ ස්කන්‍ධ-ධාතු-ආයතනයෝ පවත්නාහු නුයි - ‘විනාභාවං සන්තමෙවිදං’ යනු වේ.
ඉති දිස්වා නාගාරමාවසෙ - ‘ඉති’ - තෙල ‘ඉති’ යනු: පදසන්‍ධි යැ, පදසංයොග යැ පදපූරණ යැ, අක්‍ෂරසන්තිපාත යැ, ව්‍යඤ්ජනයන්ගේ සිලිටුබව යැ, පදයන්ගේ අනුපිළිවෙළ නම් වේ. ඉති දිස්වා මමායිත වස්තුවිෂයෙහි බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ඉති දිස්වා’ යනු වේ. නාගාරමාවසෙ - සියලු ගෘහවාසපළිබොධය (=කරදරය) සිඳ, අඹුදරුපළිබොධය සිඳ, ඥාතිපළිබොධය සිඳ, මිත්‍රාමාත්‍යපළිබොධය සිඳ, සන්නිධිපළිබොධය සිඳ, කෙස්දැළිරවුළු බහා කහවත් හැඳපෙරවැ, ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වැ, කිසිවක් නැතිබවට පැමිණ, එකලා වැ හැසිරෙන්නේය වෙසෙන්නේය ඉරියවු පවත්වන්නේය පාලන-යපන-යාපනය කරන්නේ නුයි ‘ඉති දිස්වා නාගාරමාවසෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සොචන්ති ජනා -පෙ- ඉති දිස්වා නාගාරමාවසෙ” යනු.
6. 3.
පුරුෂ තෙමේ යම් රූපාදියක් ‘මේ මාගේ’ යයි මඤ්ඤනාවශයෙන් හඟනේ නම්, එය මරණයෙන් නමුදු දුරුකරනු ලැබෙයි. බුද්ධාදීන් කෙරෙහි මාමක වූ පණ්ඩිත තෙමේ රූපාදියෙහි තෙල ආදීනවය දැක මමත්‍වයට නො නැමෙන්නේ යි.
මරණෙනපි තං පහීයති - ‘මරණං’ යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙන් යම් ච්‍යුතියෙක් ච්‍යුතවන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යුසඞ්ඛ්‍යාත මරණයෙක් කලුරියකිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහාලීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද එය යි. තං - ඒ රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥානය; පහීයති - ප්‍රහීණ කරනු ලැබෙයි, හරිනු ලැබෙයි, වෙසෙසින් හරිනු ලැබෙයි, අතුරුදහන් වෙයි, සුණුවිසුණු වේ. මේ කියන ලදුයේ මැ ය:
1. භෝගයෝ පළමු මැ මිනිසා දුරු කෙරෙති (-අත්හරිති). මිනිසා ද ඊටත් පෙරටුව ඒ භෝගයන් දුරු කෙරෙයි. එම්බා කාමකාමිය, (ලොවැ) කාමභොගීහු අශාශ්වතයෝ යැ. එහෙයින් මම මහාජනයා ශෝක කරන කල්හි ශෝක නො කෙරෙමි.