5. 6.
යම් ක්ෂීණාස්රවයක් හට (පෙර කියන ලද) ඵස්ස-ඵස්සසමුදයාදි භේද වූ උභයාන්තයෙහි ද පුනපුනා භවය පිණිස ද ස්වාත්මභාවයෙහි හෝ පරාත්මභාවයෙහි ද තෘෂ්ණා නැත්තේ ද, ඒ ක්ෂීණාස්රවහට කිසි තෘෂ්ණාදෘෂ්ටිනිවේසන කෙනෙක් නො වෙති; දෙසැටදිටුදහම්හි නිශ්චය කොට දැඩි ව ගන්නා ලද්දෙක් නැත්තේ යි.
යස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධ වා හුරං වා - ‘යස්ස’ යනු: අර්හත් වූ ක්ෂීණාස්රවහට; ‘අන්ත’ නම්: ස්පර්ශය එක් අන්තයෙක ස්පර්ශසමුදය දෙවැනි අන්ත යයි, අතීතය එක් අන්තයෙක අනාගතය දෙවැනි අන්තය යි, සුඛවේදනාව එක් අන්තයෙක දුඃඛවේදනාව දෙවැනි අන්තය යි, නාමය එක් අන්තයෙක රූපය දෙවැනි අන්තය යි, ෂඩ්ආධ්යාත්මිකායතනයෝ එක් අන්තයෙක ෂඩ්වාහ්යායතනයෝ දෙවැනි අන්තය යි, සත්කාය එක් අන්තයෙක සත්කායසමුදය දෙවැනි අන්තය යි: ‘පණිධි’ යී රාග සංරාග...අභිධ්යා, ලෝභඅකුශලමූල නම් වූ තෘෂ්ණා කියනු ලබයි; භවාභවාය කාමභව - රූපභව - අරූපභවයන් සඳහා, කර්මවෘත්තවිපාකවෘත්තයන් සඳහා මතුමත්තෙහි භවය සඳහා පඤ්චගතිය - පුනපුන උත්පත්තිය ප්රතිසන්ධිය සඳහා නැවත නැවත ආත්මභාවය පහළවීම සඳහා; ඉධ යනු: සිය අත්බැව, හුරං යනු: පරඅත්බැව; ඉධ යනු: ස්වකීය රූපවෙදනාසංඥාසංස්කාරවිඥානය යැ, හුරං යනු: පරකීය රූපවෙදනාසංඥාසංස්කාරවිඥානය යැ, ඉධ යනු: සවැදෑරුම් ආධ්යාත්මික ආයතනයෝ යැ, හුරං යනු: සවැදෑරුම් බාහ්යායතනයෝ යැ; ඉධ යනු: මිනිස්ලොව යැ, හුරං යනු: දෙව්ලොව යැ, ඉධ යනු: කාමධාතුව යැ, හුරං යනු: රූප-අරූපධාතු යැ; ඉධ යනු: කාම-රූපධාතු යැ, හුරං යනු: අරූපධාතුව යි.
යස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධ වා හුරං වා - යම් රහත් මහණක් හට ඵස්සාදි උභයාන්තයෙහි ද, කාමාදි භවය සඳහා ද, ස්ව-පරආත්මභාවාදියෙහි ද, ප්රාර්ත්ථනා තෘෂ්ණා නැද්ද නො වේ ද, අවිද්යමාන වේ ද, නො ලැබේ ද, ප්රහීණ වූවා සන්හිඳුණී දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණ ගින්නෙන් නසන ලද්දී නුයි ‘යස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධ වා හුරං වා’ යනු වේ.
නිවෙසනා තස්ස න සන්ති කෙචි - ‘නිවෙසනා’ යනු, නිවේසන දෙකෙකි: තෘෂ්ණානිවෙසන ද දෘෂ්ටිනිවෙසන දැයි කියායි. ...තස්ස - රහත් ක්ෂීණාස්රවහට; නිවෙසනා තස්ස න සන්ති කෙචි’ යනු. ඔහුට කිසි නිවේසන කෙනෙක් නැත, නො වෙති, නො ලැබෙත්; ප්රහීණ වූවාහු සිඳුනා ලද්දාහු සන්හිඳුණාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි “නිවෙසනා තස්ස න සන්ති කෙචි” යනු වේ.
ධම්මේසු නිච්ඡෙය්ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙහි; නිච්ඡෙය්ය නිශ්චය කොට විනිශ්චය කොට විමසා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට; සමුග්ගහීතං - අවධිවශයෙන් කොටස් වශයෙන් - උත්තමවශයෙන් - කොට්ඨාසවශයෙන් - රාශිවශයෙන් - විශෙෂරාශිවශයෙන් ගැනීම, මේ සැබැව තත්ථ්ය ය අවිපරිණාම ය විද්යමාන ය යථාස්වභාව ය අවිපරීත යයි ගන්නා ලද පරාමර්ශ කළ අභිනිවේස කළ ඇතුළත් වූ බැසගන්නා ලද්දක් නැත, නො වෙයි අවිද්යමාන වෙයි, නො ලැබෙත්, ප්රහීණ ය මුලුසුන් කරන ලද සන්හිඳුවන ලද දුරලන ලද උපතට නුසුදුසු කරන ලද නුවණගින්නෙන් නසන ලද නුයි - ‘ධම්මේසු නිච්ඡෙය්ය සමුග්ගහීතං’ යනු වේ.
එයින් වදාළහ, බුදුහු:
“යස්සූභයන්තෙ -පෙ- ධම්මේසු නිච්ඡෙය්ය සමුග්ගහීතං” යී.