5. 7.
ඒ රහත් මහණ හට රූපායතන සඞ්ඛ්‍යාත දෘෂ්ටශුද්ධියෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ මුතශුද්ධියෙහි හෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රකල්පිත වූ අණුමාත්‍ර වූ ද සංඥාවෙන් උපදවන ලද දෘෂ්ටියෙක් නැත, මේ සත්ත්‍වලෝකයෙහි (තෘෂ්ණාමානදෘෂ්ටි විසින්) දෙසැටදිටු නො ගන්නාවූ ඒ බාහිතපාපී බ්‍රාහ්මණයා රාගාදි කවර ධර්‍මයෙකින් විකල්පනය කරන්නේ ද.
තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්‍ථි අණූපි සඤ්ඤා - ‘තස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; රූපාලම්බනයෙහි හෝ, දෘෂ්ටශුද්ධියෙහි හෝ ශබ්දාලම්බනයෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ, ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි හෝ මුතශුද්ධියෙහි හෝ, සංඥා පූර්‍වඞ්ගම කොට ඇති සංඥාවිකල්පන ඇති සංඥාවිග්‍රහයෙන් සංඥාවෙන් ඔසවන ලද මොනොවට ඔසවන ලද කල්පිත වූ ප්‍රකල්පිත වූ සකස් කරන ලද මොනොවට සකස් කරන ලද පිහිටුවන ලද දෘෂ්ටියෙක් නැත, නො වෙයි, විද්‍යමාන නො වෙයි, නො ලැබෙයි, ප්‍රහීණ වූවා සමුච්ඡින්න වූවා සන්හිඳුණා දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා ඥානාග්නීන් දවන ලද්දී නුයි - ‘තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්‍ථි අණූපි සඤ්ඤා’ යනු වේ.
තං බ්‍රාහ්මණං දිට්ඨිමනාදියානං - ‘බ්‍රාහ්මණො’ යනු: සප්තධර්‍ම කෙනකුන් බාහිත හෙයින් බ්‍රාහ්මණ යැ...(4. 3. සූත්‍රනිර්දේශය.) තං බ්‍රාහ්මණං දිට්ඨිමනාදියානං - ඒ බාහිතපාපී බ්‍රාහ්මණයා දෘෂ්ටිය ආදානය නො කරනුවහු නො ගන්නහු පරාමර්‍ශනය නො කරනුවහු අභිනිවේශය නො කරනුවහු නුයි ‘තං බ්‍රාහ්මණං දිට්ඨිමනාදියානං’යනු වේ.
කෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය - ‘කප්පා’ යනු: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි දෙ කල්ප කෙනෙකි: ... ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ කරන ලද, දෘෂ්ටිකල්පය දුරලන ලද, තෘෂ්ණාකල්පය ප්‍රහීණ කළ හෙයින් දෘෂ්ටිකල්පය දුරලූ හෙයින් කවර රාගයෙකින් කල්පනය කරන්නේ ද? කවර ද්වෙෂයෙකින් - කවර මොහයෙකින් - කවර මානයෙකින් - කවර දෘෂ්ටියෙකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුශයයෙකින් රක්ත යැයි හෝ ද්විෂ්ට යැයි හෝ මූඪ යැයි හෝ විනිබද්ධ යැයි හෝ පරාමෘෂ්ට යැයි හෝ වික්‍ෂේපයට ගියේ යැයි හෝ අනිෂ්ඨාවට ගියේ යැයි හෝ තිරබවට ගියේ යැයි හෝ කල්පනය කරන්නේ නම් ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයහ, අභිසංස්කාරයන් ප්‍රහීණ කළ වන බැවින් ගතිවශයෙන් තිරිසන් යැයි හෝ තිරිසන්ගත යැයි හෝ ප්‍රේතවිෂය ඇතියෙකැයි හෝ මිනිස් යැයි හෝ දෙවි යැයි හෝ රූපී යැයි හෝ අරූපී යැයි හෝ සංඥී යැයි හෝ අසංඥී යැයි හෝ නෛවසංඥී නාසංඥී යැයි හෝ කුමකින් කල්පනය කරන්නේ ද; යම් කරුණෙකින් කල්පනය - විකල්පනය - කරන්නේ නම් විකල්පනයට පැමිණෙන්නේ නම්, ඒ හේතුව නැත ප්‍රත්‍යය නැත කාරණය නැති; කෙනීධ ලෝකස්මිං - අපායලෝකයෙහි...ආයතනලෝකයෙහි නුයි - ‘කෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ, බුහුදු:
“තස්සීධ දිට්ඨෙ ව -පෙ- ලෝකස්මිං විකප්පයෙය්‍ය” යි.
5. 8.
ඒ ක්‍ෂීණාස්‍රවයෝ තෘෂ්ණාදෘෂ්ටිකල්පයන් නො කෙරෙති, පෙරටු කොට නො හැසිරෙත්; ඔවුන් විසින් දෙසැට දිටුදහම්හු ද නො පිළිගන්නා ලද්දාහු වෙති. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමෙ ශීලව්‍රතය කරණ කොටගෙන ගෙනයා නො හැක්ක. යම්හෙයකින් තාදී වූ රහත් තෙම නිර්‍වාණපාරයට ගියේ මාර්‍ගයෙන් නැසූ කෙලෙසුන් කරා පෙරළා නො පැමිණේ ද එහෙයිනි.
න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති - ‘කප්පා’ යනු: තෘෂ්ණා කල්පය ද දෘෂ්ටිකල්පය දැයි දෙ කල්ප කෙනෙක් වෙති:
තෘෂ්ණාකල්පය කවරැ යත්? යම් පමණ තෘෂ්ණාකොටසින් හිම් කරන ලද ද මර්‍ය්‍යාදා කරන ලද ද අවධි කරන ලද ද පර්‍ය්‍යන්ත කරන ලද ද අයත් කරන ලද ද මමායන කරන ලද ද: මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මාගේ රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, අතුරුණු බුමුතුරුණු යැ, දැසිදස්හු යැ, එළුතිරෙළු යැ, හූරුකුකුළු යැ, ඇත්අස්ගවවෙළඹු යැ, කෙත්වත් යැ, රන්රුවන් යැ, ගම්නියම්ගම්රජදහන්හු යැ, රට දනව්-කොටුගුල් හා සියලු මැ මහපොළොව තෘෂ්ණාවශයෙන් මමායන කෙරෙයි, යම්තාක් අටෝරාසියක් තෘෂ්ණාවිචරිතය වේ ද, මේ තෘෂ්ණාකල්ප නම් වෙයි.
දෘෂ්ටිකල්පය කවරැ යත්? විංශතිවස්තුකසත්කායදෘෂ්ටි යැ, දශවස්තුකමිත්‍ථ්‍යාදෘෂ්ටි යැ, දශවස්තුකඅන්තග්‍රාහිකාදෘෂ්ටි යැ යන මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් වේ ද, දෘඪග්‍රහණයෙක් මිත්‍ථ්‍යාමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීර්ත්‍වායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් විපරීතග්‍රාහයෙක් මිත්‍ථ්‍යාග්‍රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම් දෙ සැට දෘෂ්ටි කෙනෙක් වෙත් ද මේ දෘෂ්ටිකල්ප නම් වේ. ඒ රහතුන් විසින් තෘෂ්ණාකල්පය පහන ලද, දෘෂ්ටිකල්පය දුරලන ලද, තෘෂ්ණාකල්පය පුහුන් බැවින් දෘෂ්ටිකල්පය දුරැලූ බැවින් ඔවුහු තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙති නො දනවති නූපදවත් නුයි - ‘න කප්පයන්ති’ යනු වේ.
න පුරෙක්ඛරොන්ති - ‘පුරෙක්ඛාර’ නම්: තෘෂ්ණාපුරස්කාරය ද දෘෂ්ටිපුරස්කාරය දැයි දෙ පුරස්කාර කෙනෙක් වෙති ... ඒ රහතුන් විසින් තෘෂ්ණාපුරස්කාරය පහන ලද, දෘෂ්ටිපුරස්කාරය දුරලන ලද, තෘෂ්ණාපුරස්කාරය පුහුන් බැවින් දෘෂ්ටිපුරස්කාරය දුරැලූ බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙති, තෘෂ්ණාව ධ්වජ කොට ඇත්තාහු තෘෂ්ණාව කෙහෙලි කොට ඇත්තාහු තෘෂ්ණාව අධිපති කොට ඇත්තාහු දෘෂ්ටිය ධ්වජ කොට ඇත්තාහු දෘෂ්ටිය කෙහෙලි (=කොඩි) කොට ඇත්තාහු දෘෂ්ටිය අධිපති කොට ඇත්තාහු නො වෙති, තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ නො පිරිවරා හැසිරෙත් නුයි ‘න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති’ යනු වේ.