5. 3.
මෙසේ දක්නේ තමාගේ යම් ශාස්තෘ ආදියක් ඇසිරු කරන ලදුයේ නම්, එයින් අන්‍ය වූ පරශාස්තෘ ආදිය ලාමක කොට දක්නේය. ඒ දර්‍ශනය ද ස්කන්‍ධාදිය දැනීමෙහි නිපුණ වූවාහු බන්‍ධනයෙකැයි කියති. එහෙයින් ම මහණ තෙමේ රූපාලම්බනය හෝ ශබ්දාලම්බනය හෝ ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය හෝ ශීලව්‍රතසඞ්ඛ්‍යාත ධර්‍මාලම්බන හෝ ඇසුරු නො කරන්නේ යි.
තං චාපි ගන්‍ථං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: යම් කෙනෙක් රූපාදි පඤ්චස්කන්‍ධයෙහි නිපුණ වූවාහු ද, ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද - සතිපට්ඨාන - සම්‍යක්ප්‍රදහන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණ වූවාහු ද, ඒ නිපුණයෝ මෙසේ කියති: (එසේ දක්නාවුන්ට) තෙල ග්‍රන්‍ථයෙක, තෙල (නාගදන්තයක මෙන්) යටට එල්බීමෙක, තෙල බන්‍ධයෙක, තෙල (සසරින් නික්මැ යා නො දෙන හෙයින්) පළිබොධයෙකැයි මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තං චාපි ගන්‍ථං කුසලා වදන්ති’ යනු වේ.
යං නිස්සීතො පස්සති හීනමඤ්ඤං - ‘යං නිස්සීතො’ - යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ඇසුරු කෙළේ මොනොවට ඇසුරු කෙළේ ඇලුණේ එළැඹියේ ඇතුළත් වූයේ බැසගත්තේ වේ ද; පස්සති හීනමඤ්ඤං - අන්‍ය ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය හීනහෙයින් පහත්හෙයින් ලාමකහෙයින් ප්‍රත්‍යයහීනහෙයින් අල්පහෙයින් බලයි දකී අවලොකනය කෙරෙයි සිතයි පුනපුනා සිතයි පිරික්සා නුයි ‘යං නිස්සීතො පස්සති හීනමඤ්ඤං’ යනු වේ.
තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්‍ය - ‘තස්මා’ - එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් රූපායතනය හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශබ්දායතනය හෝ ශ්‍රැතශුද්ධිය හෝ ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතනය හෝ මුතශුද්ධිය හෝ ශීලය හෝ ශීලශුද්ධිය හෝ ව්‍රතය හෝ ව්‍රතශුද්ධිය හෝ නො ඇසිරු කරන්නේ ය නො ගන්නේ ය පරාමර්‍ෂණය නො කරන්නේ ය අභිනිවේශය නො කරන්නේ නුයි ‘තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තං වාපි ගන්‍ථං කුසලා වදන්ති -පෙ- භික්ඛු න නිස්සයෙය්‍ය” යී.
5. 4.
හුදෙක් ඒ මහණ දෘෂ්ටි-ශ්‍රැතාදිය මතු නො ගන්නේ වෙයි. යළි ලොවැ නූපන් දෘෂ්ටිය ද සමාපත්ත්‍යාදිඥානයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ නූපන්නේ ය. තවද ජාත්‍යාදිවස්තුයෙන් ‘මම් සදෘශයෙමී’ තමා (මානවශයෙන්) නො සිතන්නේ ය, - හීනයෙමී’ ද නො සිතන්නේ යි.
දිට්ඨිම්පි ලෝකස්මිං න කප්පයෙය්‍ය ඤාණෙන වා සීලවතෙන වාපි - අෂ්ටසමාපත්තිඥානයෙන් හෝ පඤ්චාභිඥාඥානයෙහ් හෝ විපරීතඥානයෙන් හෝ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ දෘෂ්ටිය නූපදවන්නේ ය මොනොවට නූපදවන්නේ ය මැනවින් නූපදවන්නේ ය. ලෝකස්මිං - අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘දිට්ඨිම්පි ලෝකස්මිං න කප්පයෙය්‍ය’ යනු වේ.
ඤාණෙන වා සීලවතෙන වාපි සමොති අත්තාන මනූපනෙය්‍ය - ‘මම් සදෘශයෙමී, තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයකින් හෝ ශිල්පායතනයකින් හෝ විද්‍යාවකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභාණයෙන් හෝ අන්‍යතර අන්‍යතරවස්තුවෙකින් හෝ නො සිතන්නේ නුයි - ‘සමොති අත්තානමනූපනෙය්‍ය’ යනු වේ.
හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි - ‘මම් හීනයෙමී’ තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ නො සිතන්නේ ය, ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ නො සිතන්නේ නුයි - ‘හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨිම්පි ලෝකස්මිං -පෙ- හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි” යී.
5. 5.
හෙතෙම (පෙර ගන්නා ලද) ආත්මලබ්ධිය ප්‍රහාණය කොට (අනෙකක් චතුරුපාදානයෙන්) නො ගන්නේ (උක්තප්‍රකාර) ඥානයෙහි පවා තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය නො කෙරෙයි. (තවද) හෙතෙම ඒකාන්තයෙන් දෘෂ්ටිවශයෙන් වෙන් වැ ගිය සත්ත්‍වයන් කෙරෙහි (ඡන්‍දාදිවශයෙන්) නො යන ස්වභාව ඇතියේ වෙයි. හෙතෙම (දෙසැට දිටු අතුරෙන්) කිසි දෘෂ්ටියකට ද නො පැමිණෙන්නේ වේ.
අත්තං පහාය අනුපාදියානො - ‘අත්තං පහාය’ - ආත්මදෘෂ්ටිය ප්‍රහාණය කොට; අත්තං පහාය - ආත්මග්‍රාහය ප්‍රහාණය කොට; අත්තං පහාය - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගන්නා ලද හාත්පසින් ආමර්‍ශනය කරන ලද අභිනිවේශය කරන ලද ඇතුළු වැ සිටි බැසගන්නා ලද (ආත්මලබ්ධිය) ප්‍රහාණය කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අභාවයට පමුණුවා නුයි - ‘අත්තං පහාය’ යනු වේ. අනුපාදියානො - සතර උපාදානයන්ගෙන් උපාදානය නො කරනුයේ නො ගන්නේ පරාමර්‍ශනය නො කරනුයේ අභිනිවේශය නො කරනුයේ නුයි - ‘අත්තං පහාය අනුපාදියානො’ යනු වේ.