5. 1.
ලොවැ යම් සත්ත්‍වයෙක් දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැයි ගෙන තමන් තමන් ගේ දෘෂ්ටියෙහි ඇතුළත් වැ වසනුයේ යම් හෙයකින් තමා ගේ ශාස්තෘ ආදිය උතුමැයි කියා ද, එයින් අන්‍ය වූ සියල්ල හීන යැයි කියා ද, එහෙයින් හෙතෙම දෘෂ්ටිවිවාදයන් නො ඉක්මැ වූයේ වේ.
පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො - දෘෂ්ටි ගෙන සිටුනා ඇතැම් මහණ බමුණුකෙනෙක් වෙති, ඔවුහු දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ ප්‍රධාන යැ උත්තම යැ ප්‍රවර යැයි ගෙන දැඩි වැ ගෙන ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශය කොට තමන් තමන් ගේ දෘෂ්ටියෙහි වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත්; යම් සේ ගිහිගේ වැසියෝ තමන් ගේ ගෙවල (නිසැකව) වෙසෙත් ද, ආපත්ති බහුල වූවෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ කෙලෙස්හි පිවිසැ වෙසෙත් ද, එසෙයින් මැ දෘෂ්ටි ගෙන සිටුනා ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ; ඔවුහු දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ‘මේ පරම යැ අග්‍ර යැ...ප්‍රවර ය’යි ගෙන... අභිනිවේශය කොට තමන් තමන්‍ ගේ දෘෂ්ටියෙහි වෙසෙති පිවිසැ වෙසෙති සර්‍වාකාරයෙන් වෙසෙත් නුයි ‘පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො’ යනු වේ.
යදුත්තරිං කුරුතෙ ජන්තු ලෝකේ - ‘යද’ යනු යම් හෙයකින්; උත්තරිං කුරුතෙ - අතිරේක කෙරෙයි, අග්‍ර - ශ්‍රේෂ්ඨ - විශිෂ්ට - ප්‍රමුඛ - උත්තම - ප්‍රවර කෙරෙයි: ‘මේ ශාස්තෘ තෙමේ සර්‍වඥ ය’යි අතිරේක කෙරෙයි... ප්‍රවර කෙරෙයි ‘මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ, මේ ගණ තෙමේ සුප්‍රතිපන්න යැ, මේ දෘෂ්ටි තොමෝ භද්‍ර වූ යැ, මේ ප්‍රතිපදා තොමෝ සුප්‍රඥප්ත යැ, මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’යි අතිරේක කෙරෙයි, අග්‍ර...ප්‍රවර කෙරෙයි, නිපදවයි වෙසෙසින් නිපදවයි; ජන්තු - සත්ත්‍ව නර...මනුජ තෙමේ; ලෝකේ - අපායලෝකයෙහි… ආයතනලෝකයෙහි නුයි ‘යදුත්තරිං කුරුතෙ ජන්තු ලෝකේ’ යනු වේ.
හිනාති අඤ්ඤෙ තතො සබ්බමාහ - තමා ගේ ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය තබා සියලු පරවාදයන් හැරදමයි බැහර කෙරෙයි පරාඞ්මුඛ කෙරෙයි: ‘ඒ ශාස්තෘ සර්‍වඥ නො වෙයි, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය භද්‍ර නො වෙයි ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි, මාර්‍ගය නෛර්‍ය්‍යාණික නො වෙයි, මෙහි ශුද්ධියක් විශුද්ධියක් පරිශුද්ධියක් හෝ මුක්තියක් විමුක්තියක් පරිමුක්තියක් හෝ නැත; එහි පැවිද්දෙන් ශුද්ධ - විශුද්ධ - පරිශුද්ධ හෝ නො වෙති, මුක්ත - විමුක්ත පරිමුක්ත හෝ නො වෙත්; හීන - නිහීන - ඔමක - ලාමක වූවාහ, හරන ලද්දාහ, අල්ප වූවාහ’යි මෙසේ කියයි, මෙසේ බෙණෙයි, මෙසේ දක්වයි, මෙසේ ව්‍යවහාර කෙරේ නුයි ‘හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහ’ යනු වේ.
තස්මා විවාදානි අවීතිවත්තො - ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; විවාදානි දෘෂ්ටිකලහයන් දෘෂ්ටිභණ්ඩනයන් දෘෂ්ටිවිග්‍රහයන් දෘෂ්ටිවිවාදයන් දෘෂ්ටිමෙධගයන්; අවීතිවත්තො - නො ඉක්මැ වූයේ මොනොවට නො ඉක්මැ වූයේ බැහැර නො කෙළේ නුයි ‘තස්මා විවාදානි අවීතිවත්තො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පරමන්ති දිට්ඨීසු -පෙ- අවීතිවත්තො” යී.
5. 2.
මෙසේ දෘෂ්ටිකලහයන් නො ඉක්මැවූයේ රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද ශීලව්‍රත දෙක්හි ද ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ද උපන් දෘෂ්ටිසඞ්ඛ්‍යාත වූ ආත්මයෙහි උක්තප්‍රකාර වූ යම් අනුසසක් දකී ද, හෙතෙම ස්වකීය දෘෂ්ටියෙහි ඒ අනුසස ම ශ්‍රේෂ්ඨ යයි දැඩිව ගෙන පරශාස්තෘ ආදි අන් සියල්ල නිහීන හෙයින් දක්නේ යි.