4. 7.
යම් හෙයකින් ඒ ශාන්ත වූ ක්ෂීණාස්රවයෝ ද්විවිධ තෘෂ්ණාදි කල්පනයන් හා පුරස්කාරයන් අතුරෙන් කිසිවකින් කල්පනය නො කෙරෙත් ද, පෙරටු නො කෙරෙත් ද, ඔවුහු (පරමාර්ත්ථ අත්යන්තශුද්ධිය අධිගත වන බැවින් අත්යන්තශුද්ධ වූවාහු මැ) අක්රිය - ශාශ්වතදෘෂ්ටි අත්යන්තශුද්ධි යයි නො කියත් ද එහෙයින් ස්වකීය චිත්තසන්තානයෙහි ගෙතුණාවු ආදානග්රන්ථ යයි කියන ලද අභිධ්යාදි චතුර්විධ කායග්රන්ථය සිඳපියා කිසි ලොකයෙක් හි තෘෂ්ණාව නූපදවත්.
න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති - ‘කප්පා’ යනු තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්පයෝ දෙදෙනෙක් වෙති:...ඔවුන් විසින් තෘෂ්ණාකල්පය ප්රහීණ යැ, දෘෂ්ටිකල්පය දුරලන ලද්දේයැ තෘෂ්ණාකල්පය ප්රහීණ වන බැවින් දෘෂ්ටිකල්පය දුරලන ලද බැවින් තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙති, නූපදවති, නො නිපදවත් නුයි - ‘න කප්පයන්ති’ යනු වේ. න පුරෙක්ඛරොන්ති - තෘෂ්ණාපුරස්කාරයැ දෘෂ්ටිපුරස්කාර යයි පුරස්කාරයෝ දෙදෙනෙක් වෙති:... තෘෂ්ණාපුරස්කාරය ප්රහීණ වන බැවින් දෘෂ්ටිපුරස්කාරය දුර ලන ලද බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙති; තෘෂ්ණාව ධ්වජ කොට ඇත්තාහු තෘෂ්ණාව කෙහෙලි කොට ඇත්තාහු තෘෂ්ණාව අධිපති කොට ඇත්තාහු, දෘෂ්ටිය ධ්වජ කොට ඇත්තාහු දෘෂ්ටිය කෙහෙලි කොට ඇත්තාහු දෘෂ්ටිය අධිපති කොට ඇත්තාහු නො හැසිරෙති; තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ පිරිවරන ලද්දාහු නො හැසිරෙත් නුයි ‘න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති’ යනු වේ.
අච්චන්තසුද්ධින්ති න තෙ වදන්ති - අක්රියදෘෂ්ටිය ත් ශාශ්වතවාදයත් අත්යන්තශුද්ධි යැ සංසාරශුද්ධි යැයි නො කියති නො බෙණෙති නො දක්වති ව්යවහාර නො කෙරෙත් නුයි ‘අච්චන්තසුද්ධින්ති න තෙ වදන්ති’ යනු වේ.
ආදානගන්ථං ගථිතං විසජ්ජ - ‘ගන්ථ’ යනු අභිධ්යාකායග්රන්ථ යැ ව්යාපාදකායග්රන්ථ යැ ශීලව්රතපරාමර්ශකායග්රන්ථ යැ ඉදංසත්යාභිනිවෙශකායග්රන්ථ යැයි ග්රන්ථයෝ සතර දෙනෙක් වෙති: ස්වකීය දෘෂ්ටිය පිළිබඳ ඡන්දරාගය ‘අභිධ්යාකායග්රන්ථ’ නම, පරවාදයන්හි කෝපය නො සතුට ‘ව්යාපාදකායග්රන්ථ’ නම, තමාගේ ශීලය හෝ ව්රතය හෝ ශීලව්රතය හෝ පරාමර්ශ කෙරෙත් නුයි ‘ශීලව්රතපරාමර්ශකායග්රන්ථ’ නම, තමාගේ දෘෂ්ටිය ‘ඉදංසත්යාභිනිවෙශකායග්රන්ථ’ නමි. කවර කරුණෙකින් ‘ආදානගන්ථ’ යී කියනු ලැබෙයි? යත්: මෙ කියන ලද අභිධ්යාදි නාමකායග්රන්ථයන් හේතු කොටගෙන චතුසමුට්ඨානිකරූපාරම්මණය ආදානය කෙරෙති උපාදානය (=දැඩි කොට ගැනීම) කෙරෙති තෘෂ්ණාග්රහණයෙන් ගනිති, දෘෂ්ටිග්රහණයෙන් පරාමර්ශ කෙරෙති, මානග්රහණයෙන් අභිනිවේශය කෙරෙත්. වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ගතිය උත්පත්තිය ප්රතිසන්ධිය භවය සංසාරවර්තනය ආදානය කෙරෙති උපාදානය කෙරෙති ග්රහණය කෙරෙති පරාමර්ශ කෙරෙති අභිනිවේශය කෙරෙත්. එ කරැණෙන් ‘ආදානග්රන්ථ’ යී කියනු ලැබේ. විසජ්ජ - ග්රන්ථ (බන්ධන) යන් මොනොවට විසුරුවා හෝ හැර, නොහොත් බන්ධනයන් ග්රන්ථනයන් බන්ධයන් විබන්ධයන් ආබන්ධ (-අනෙකවිධබන්ධ) යන් ලග්න වූවන් ලග්ගිත වූවන් හාත්පසින් බද්ධවූවන් බන්ධනයන් පොළා දුරුකොට; යම් සේ වාහනයක් හෝ රථයක් හෝ ගැලක් හෝ යානයක් හෝ ගලවා අපරිභොග කෙරෙත් ද සුණු කෙරෙත් ද, එසෙයින් ම කායග්රන්ථයන් විසුරුවා හෝ දුරු කොට, නොහොත් ග්රන්ථ (-බන්ධන)යන්...හාත්පසින් බන්ධ වූවන් බන්ධනයන් පොළා දුරුකොට නුයි ‘ආදානගන්ථං ගථිතං විසජ්ජ’ යනු වේ.