4. 8.
ඒ භූරිප්‍රාඥ වූ ක්‍ෂීණාස්‍රව තෙමෙ චතුර්විධ ක්ලෙශසීමාව ඉක්මවූයේ යැ, බාහිතපාපී හෙයින් බ්‍රාහ්මණ යැ, ඒ ක්‍ෂීණාශ්‍රව හට පරසිත් දන්නා නුවණින් පෙර විසූ කඳපිළිවෙළ දන්නා නුවණින් දැන හෝ මසැසින් හා දිවැසින් දැක හෝ මොනොවට බැස ගන්නා ලද්දක් නැත. තවද හෙතෙම කාමරාගයෙන් රාගවත් නො වෙයි. රූපාරූපරාග සඞ්ඛ්‍යාත විරාගයෙන් රත්ක වූයේ නො වෙයි. ඔහුට මෙලොවැ උතුමැයි දැඩිව ගන්නා ලද කිසිවක් නැත්තේ යි.
සීමාතිගො බ්‍රාහ්මණො තස්ස නත්‍ථි ඤත්‍වා ච දිස්වා ච සමුග්ගහීතං - ‘සීමා’ යනු: සතර සීමාවෙකි: සත්කායදෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ දෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ ඔවුන් හා (සහජෛකාත්ව විසින්) එක් වැ සිටි කෙලශයෝ යැ යන මේ ප්‍රථම සීමා යැ; ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයොජයන යැ, ඖදාරික වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ, ඔවුන් හා එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ දෙවැනි සීමා යැ; අණුසහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයොජයන යැ, අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ ඔවුන් හා එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ තෙවැනි සීමා යැ, රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිජ්ජා යැ, මානානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යැ, ඔවුන් හා සහජෛකස්ථ විසින් එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ සතරවැනි සීමා යි. සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් මේ සතර කෙලෙස් සීමාවන් ඉක්මවූ වෙසෙසින් ඉක්මවූ අත්‍යන්තයෙන් ඉක්මවූ තැන් සිට හෙතෙම ‘සීමාතිග’ යයි කියනු ලැබේ. බ්‍රාග්මණො - සප්තධර්‍ම කෙනකුන් බාහිත වන බැවින් ‘බ්‍රාහ්මණ’ යැ; සත්කායදෘෂ්ටිය බාහිත වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය බාහිත වෙයි...තෘෂ්ණාදෘෂ්ටීන් අනිශ්‍රිත වූ අටලෝදහම්හි තාදී වූ හෙතෙම ‘බ්‍රාහ්මණ’ යයි කියනු ලැබේ. තස්ස - රහත් හට ක්ෂීණාශ්‍රවහට; ඤත්‍වා - පරචිත්තඥානයෙන් හෝ දැන පුර්‍වනිවාසානුස්මෘති ඥානයෙන් හෝ දැන; දිස්වා - මසැසින් හෝ දැක, දිවැසින් හෝ දැක; “සීමාතිගො බ්‍රාහ්මණො තස්ස නත්‍ථි ඤත්‍වා ච දිස්වා ච සමුග්ගහීතං” - ඔහුට මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ වෙසෙසින් ශ්‍රේෂ්ඨ යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි ගන්නා ලද පරාමෘෂ්ට වූ අභිනිවේශය කළ අධ්‍යවසිත වූ අධිමුක්ත වූවක් නැත, අවිද්‍යමාන යැ නො ලැබෙයි ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ ව්‍යුප්ශාන්ත යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ අභව්‍යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි ‘සීමාතිගො බ්‍රාහ්මණො තස්ස නත්‍ථි ඤාත්වා ච දිස්වා ච සමුග්ගහීතං’ යනු වේ.
න රාගරාගී න විරාගරත්තො - පස්කම්ගුණයෙහි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු ඇතුළත් වූවාහු ලැගුණාහු ඇවුරුණාහු ‘රාගරත්ත’ යයි කියනු ලැබෙති; රුවාරූ සමවත්හි ඇලුණාහු...ඇවුරුණාහු ‘විරාගරත්ත’ යයි කියනු ලැබෙත්. ‘න රාගරාගී න විරාගරත්තො’ - යම් තැනෙක සිට කාමරාගය ත් රූපරාගය ත් අරූපරාගය ත් ප්‍රහීණ වූවාහු වෙත් ද, උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අන්වභාවය කරන ලද්දාහු නැවත නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද; මෙතෙකින් ‘න රාගරාගී න විරාගරත්ත’ නම් වේ.
තස්සීධ නත්‍ථි පරමුග්ගහීතං - ‘තස්ස’ - රහත් හට, ක්‍ෂීණාස්‍රව හට; ඔහුට මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි ගෘහීත වූ පරාමෘෂ්ට වූ අභිනිවිෂ්ට අධ්‍යවසිත වූ අධිමුක්ත වූවක් නැත අවිද්‍යමාන යැ නො ලැබෙයි ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ ව්‍යුපශාන්ත යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ අභව්‍යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි -තස්සීධ නත්‍ථි පරමුග්ගහීතං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සීමාතිගො -පෙ- පරමුග්ගහීතං” යී.
සතරවැනි සුද්ධට්ඨක සූත්‍රනිර්දේශය යි.
5.
පරමට්‌ඨකසූත්‍රනිර්දේශය
ඉක්බිති පරමට්ඨකසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
5. 1.
ලොවැ යම් සත්ත්‍වයෙක් දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැයි ගෙන තමන් තමන් ගේ දෘෂ්ටියෙහි ඇතුළත් වැ වසනුයේ යම් හෙයකින් තමා ගේ ශාස්තෘ ආදිය උතුමැයි කියා ද, එයින් අන්‍ය වූ සියල්ල හීන යැයි කියා ද, එහෙයින් හෙතෙම දෘෂ්ටිවිවාදයන් නො ඉක්මැ වූයේ වේ.
පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො - දෘෂ්ටි ගෙන සිටුනා ඇතැම් මහණ බමුණුකෙනෙක් වෙති, ඔවුහු දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ ප්‍රධාන යැ උත්තම යැ ප්‍රවර යැයි ගෙන දැඩි වැ ගෙන ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශය කොට තමන් තමන් ගේ දෘෂ්ටියෙහි වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත්; යම් සේ ගිහිගේ වැසියෝ තමන් ගේ ගෙවල (නිසැකව) වෙසෙත් ද, ආපත්ති බහුල වූවෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ කෙලෙස්හි පිවිසැ වෙසෙත් ද, එසෙයින් මැ දෘෂ්ටි ගෙන සිටුනා ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ; ඔවුහු දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ‘මේ පරම යැ අග්‍ර යැ...ප්‍රවර ය’යි ගෙන... අභිනිවේශය කොට තමන් තමන්‍ ගේ දෘෂ්ටියෙහි වෙසෙති පිවිසැ වෙසෙති සර්‍වාකාරයෙන් වෙසෙත් නුයි ‘පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො’ යනු වේ.