4. 3.
ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් අන්‍ය වූ අභිමඞ්ගල සම්මතරූපසඞ්ඛ්‍යාත රූපායතනයෙහි ද, එබඳු මැ වු ශබ්දායතනයෙහි ද, අව්‍යාතික්‍රමසඞ්ඛ්‍යාත ශීලය හා (හස්තිව්‍රතාදි ) වූ ව්‍රතයෙහි ද, ගන්‍ධ රස ස්ප්‍රර්ෂව්‍යායතනයෙහි ද උපන් මිත්ථ්‍යාඥානයෙන් ශුද්ධිය වේ යයි නො කියයි. යම් හෙයකින් හෙතෙම ත්‍රෛධාතුක පුණ්‍යයෙහිත් සියලු පාපයෙහිත් නො ඇලුණේ වේ ද, එහෙයින් ආත්මදෘෂ්ටිය ප්‍රහීණ කෙළේ මේ ත්‍රෛධාතුක ලෝකයෙහි පුණ්‍යාභිසංස්කාරාදිය නො කරනුයේ වේ.
න බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; බ්‍රාහ්මණො - සප්තධර්‍ම කෙනෙකුන් දුරු කළ වන බැවින් බ්‍රාහ්මණ යැ; සත්කායදෘෂ්ටිය (ප්‍රහීණ ) කරන ලද්දී වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය - ප්‍රහීණ කරන ලදුයේ වෙයි, ඔහු විසින් සංක්ලෙශික වු පුනර්‍භවය ඇති කරන්නාවූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මතුයෙහි ජාතිජරාමරණයට හේතු වූ ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ කරන ලද්දාහු වෙත්.
1. (‘සභිය’ යි අමතා භාග්‍යවත්හු මෙසේ වදාළහ:) සියලු පාපධර්‍මයන් ප්‍රහීණ කොට එහෙයින් ම විගතමල වූ (-ශ්‍රේෂ්ඨ වූ) මාර්‍ගඵලසමාධියෙන් මොනොවට සමාහිත වූ ලොකධර්‍මයන්ගෙන් කම්පිත නො වන හෙයින් ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්මා සිටි නිමවන ලද කෘත්‍ය ඇති හෙයින් කේවලී වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය නැති හෙයින් ‘අසිත’ යයි ද, ලොකධර්‍මයෙන් නිර්විකාර හෙයින් ‘තාදි’ යයි ද කියනු ලැබේ. හෙතෙම බ්‍රාග්මණ නම් වේ.
න බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ - ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් මිත්‍යාප්‍රතිපදායෙන් අනෛය්‍යාණිකපථයෙන් සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බොජ්ඣ්ඞ්ග - ආර්යාෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් වෙන් වැ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො කියයි නො බෙණෙයි නො දක්වයි නො බැවහර කෙරේ නුයි ‘න බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ’ යනු වේ.
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - දෘෂ්ට (- මඞ්ගලසම්මත රූපායතන )යෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති. ඔහු ඇතැම් රූපයන් දැකීම මඞ්ගල යයි ද ඇතැම් රූපයන් දැකීම අමඞ්ගල යයි ද හදහති.
කවර රූපයන්ගේ දැකීම ‘මඞ්ගල’ යයි හදහති? යත්: ඒ දෘෂ්ටමාංගලිකයෝ උදෑසන ම නැගීසිට අභිමඞ්ගල බවට (වෘද්ධිකාරණයට ) ගිය ගේකුරුල්ලකු බලති, පුසනකතින් හිදුවන ලද තරැණ බෙලිගසක් බලති, ගැබිනිඅඟනක බලති, දරැවකු ඇකයේ හිඳුවා යනුවක්හු බලති, පුන්කළස බලති, රේමසකු බලති, ආජානීයා අසකු බලති, අජානීය අසුන් යෙදූ රියක් බලති, සෘෂභයකු බලති, කබරදෙනක බලත්. මෙබඳු රූපයන් දැකීම ම්ංගල යයි හදහත්.
කවර රූපයන්ගේ දැකීම ‘අමඞ්ගල’ යයි හදහති ? යත්: පිදුරුමිටියක් දකිත් නම්, මෝරුකළයක් - සිස්කළයක් - නළුවකු - නග්නශ්‍රමණයකු - කොටළුවකු - කොටළුරියක් - එක ගවයකු යෙදූ රියක්, කණකු - කොරකු - කුදකු - පිළකු - මහල්ලකු - ලෙඩ වූවකු - මළ එකක් හු, දකිත් නම්, මෙබඳු රූපයන්ගේ දැකීම “අමඞ්ගල’ යයි හදහත්.
ඒ මෙකී මහණබමුණෝ දෘෂ්ඨශුද්ධිකයෝ යැ; ඔහු අභිමඞ්ගලසම්මත රූපයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
මඞ්ගලසම්මත ශබ්දයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු ඇතැම් ශබ්දයන් ඇසීම ‘මඞ්ගල’ යයිද, ඇතැම් ශබ්දයන් ඇසීම ‘අමඞ්ගල’ යයිද හදහත්.
කවර ශබ්දයන්ගේ ශ්‍රවණය ‘මඞ්ගල’ යයි හදහති? යත්: ඔවුහු උදෑසන මැ නැගීසිට ‘අභිමඞ්ගල’ යැයි සම්මත වැ ගිය ශබ්ද අසති: වැඩෙව (=දිනේවා) යැ - වඩ්ඪමාන යැ - පූර්‍ණ යැ - පුෂ්‍ය යැ - අශෝක යැ - සුමන යැ - සුනක්ඛත්ත යැ - සුමඞ්ගල යැ - ශ්‍රී යැ - ශ්‍රීවර්ධන (-සිරිවඩු) යැ හෝ මෙබඳු වූ ශබ්දයන්ගේ ඇසීම ‘මඞ්ගල’ යයි කැමැති වෙත්.
කවර ශබ්දයන්ගේ ඇසීම ‘අමඞ්ගල’ යයි හදහති ? යත්: ‘කණා යැ හෝ කොර යැ -කුදු යැ - පිළු යැ - මහලු යැ - ලෙඩ ඇත්තේ යැ - මළේ යැ - දිරුයෙ යැ - බිදුණෙ යැ - දැවුණෙ යැ -නටුයෙ යැ - ‘නැත’යි හෝ මෙබඳු ශබ්දයන්ගේ ශ්‍රවණය ‘අමඞ්ගල’ යයි හදහති.
ඒ මෙකී මහණබමුණෝ ශ්‍රැතශුද්ධිකයෝ යැ. ඔහු ශ්‍රැත (=අභිමඞ්ගල - සම්මත ශබ්ද) යෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
ශීලයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු ශීලමාත්‍රයෙන් සංයමමාත්‍රයෙන් (=ඉඳුරන් දැමීම් පමණෙකින්) තුන්දොරා වැසීම් පමණෙකින් ව්‍යතික්‍රම නො කිරීම් පමණෙකින් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
මණ්ඩිකාපුත්‍ර වූ ශ්‍රමණ තෙමේ මෙසේ කියයි: “ස්ථපතිය, (=වඩුව,) මම සතර ධර්‍මයකින් සමන්‍විත වූ පුරැෂයක් හු පරිපූර්‍ණ වූ කුසල් ඇතියකු පරමකුසල් ඇත්තකු උත්තම් වූ අභීත්වයට (=පැමිණිය යුත්තට) පැමිණියකු නො පරදවාලියැ හැකි මහණකු කොට පනවමි. කවර සතරකි නැ? යත්: ථපතිය, මෙලොවැ යමෙක් කයින් පව්කම් නො කෙරේද, ලාමක බස් නො බෙණේ ද, පවිටු කල්පනා (-සංකල්ප) නො සිතා ද, ලාමක ආජීවයෙන් ජීවත් නො වේද, ස්ථපතිය, මම් මේ සතර දහමින් යුත් පුගුලක් හු පරිපූර්‍ණ වූ සිල් ඇතියක් හු… නො පරදවාලියැ හැකි මහණෙකු කොට පනවමි”. එසෙයින් මැ ශීලයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු සිල්මතුයෙකින් (සිල් පමණෙකින්) සංයමමතුයෙකින් සංවරමතුයෙකින් අව්‍යතික්‍රමමතුයෙකින් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
ව්‍රතසමාදානයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු හස්තිව්‍රත ඇත්තාහු හෝ වෙති, අශ්වව්‍රත ඇත්තාහු - ගෝව්‍රත ඇත්තාහු - කුක්කුර (=බලු) ව්‍රත ඇත්තාහු - කාකව්‍රත ඇත්තාහු - වාසුදෙවව්‍රත - බලදෙවව්‍රත - පූර්ණභද්‍රව්‍රත - මණිභද්‍රව්‍රත - අග්නිව්‍රත - නාගව්‍රත - ගරුඩව්‍රත - යක්ෂව්‍රත - අසුරව්‍රත - ගාන්ධර්වව්‍රත - මහාරාජව්‍රත - චන්ද්‍රව්‍රත - සූර්යව්‍රත - ඉන්ද්‍රව්‍රත - බ්‍රහ්මව්‍රත - දෙවව්‍රත ඇත්තාහු හෝ පෙරදිග්ආදියට නමස්කාර කරන දිශාව්‍රත ඇත්තාහු හෝ වෙත්. ඒ මේ මහණබමුණෝ ව්‍රතයෙන් ශුද්ධිය කැමැති වන්නාහු වෙත්. ඔහු ව්‍රතයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.