4. 2.
ඒ රූපදර්ශන සඞ්ඛ්යාත වූ දර්ශනය හේතු කොට ගෙන ඉදින් සත්වයාගේ ශුද්ධිය වේ නම්, නොහොත් ඒ චක්ෂුර්විඥානය සඞ්ඛ්යාත ඥානයෙන් හෙතෙම ජාත්යාදි දුක දුරු කෙර් නම්, එකල්හි ආර්ය්යමාර්ගයෙන් අන්ය වු අශුද්ධිමාර්ගයෙකින් කාමාදි උපධි සහිත වූයේ මැ හෙතෙම ශුද්ධ වේ යයි කිය යුතු බවට පැමිණෙයි; යම් හෙයකින් දෘෂ්ටි තොමෝ එසේ කියන්නා වූ ඔහු ‘මේ තෙමේ මිසදිටුවෙකැ’ යි පවසා ද, එහෙයිනි.
දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති - චක්ෂුර්විඥානයෙන් රූප දැකීමෙන් ඉදින් සත්වයාගේ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ නම්, සත්ව තෙමේ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ මුක්ත විමුක්ත පරිමුක්ත වේ නම් යී ‘දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති’ යනු වේ.
ඤාණෙන වා සො පජහාති දුක්ඛං - චක්ෂුර්විඥානයෙන් රූප දැකීමෙන් ඉදින් සත්ව තෙමේ ජාතිදුක දුරු කෙරේ නම්, ජරාදුක - ව්යාධිදුක - මරණදුක - සොකපරිදෙවදුක්ඛදොමනසුපායාස දුක දුරු කෙරේ නම් යී ‘ඤාණෙන වා සො පජහාති දුක්ඛං’ යනු වේ.
අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො - අන්ය වූ අශුද්ධිමාර්ගයෙන් මිත්ථ්යාප්රතිපදායෙන් අනෛර්ය්යාණිකමාර්ගයෙන් සතිපඨානයන්ගෙන් වෙන් වැ සම්යක්ප්රදහනයන්ගෙන් වෙන් වැ සෘද්ධිපාදයන්ගෙන් වෙන් වැ ඉන්ද්රියන්ගෙන් වෙන් වැ බලයන්ගෙන් වෙන් වැ බොධ්යඞ්ගයන්ගෙන් වෙන් වැ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගයෙන් වෙන් වැ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ වූයේ වෙයි, මුක්ත විමුක්ත පරිමුක්ත වූයේ වේ. සොපධීකො - සරාග වූයේ සද්වේෂ වූයේ සමෝහ වූයේ තෘෂ්ණා සහිත වූයේ දෘෂ්ටි සහිත වූයේ ක්ලේශ සහිත වූයේ උපාදාන සහිත වූයේ නුයි ‘අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො’ යනු වේ.
දිට්ඨී හි නං පාව තථා වදානං - තවද ඒ දෘෂ්ටි තොමෝ ඒ පුගුලා ‘මෙසේත් මේ පුද්ගල තෙමේ මිථ්යාදෘෂ්ටි ඇත්තෙක, විපරීත දර්ශන ඇත්තෙකැ’ යි ප්රකාශ කෙරෙයි. තථා වදානං - එසේ පවසන කියන බණන දක්වන බැවහර කරනුවහු, ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සැබව, අන්යදෘෂ්ඨිය සිස් යැ’ යි එසේ පවසන්නහු... බැවහර කරනුවහු, ලෝකය අශාශ්වත යැ, ලෝකය අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, යමක් ජීවය ද එය ම ශරීර යැ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, සත්ව තෙමේ මරණින් මතු උපදනේ වෙයි, සත්ත්ව තෙමේ මරණින් මතු නූපදනේ වෙයි. සත්ත්ව තෙමේ මරණින් මතු උපදනේත් නො ද උපදනේත් වෙයි, සත්ත්ව තෙමේ මරණින් මතු නො මැ උපදනේ වෙයි. නූපදනේත් නොවෙයි, මේ මැ සැබව අන්යය තුච්ඡ යැ’යි එසේ පවසනුවහු කියනුවහු බණන්නහු දක්වනුවහු බැවහර කරනුවහු යී ‘දිට්ඨී හි නං පාව තථාවදානං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨෙන චෙ සුද්ධි -පෙ- තථා වදානං” යී.
4. 3.
ක්ෂීණාස්රව බ්රාහ්මණ තෙමේ ආර්ය්යමාර්ගඥානයෙන් අන්ය වූ අභිමඞ්ගල සම්මතරූපසඞ්ඛ්යාත රූපායතනයෙහි ද, එබඳු මැ වු ශබ්දායතනයෙහි ද, අව්යාතික්රමසඞ්ඛ්යාත ශීලය හා (හස්තිව්රතාදි ) වූ ව්රතයෙහි ද, ගන්ධ රස ස්ප්රර්ෂව්යායතනයෙහි ද උපන් මිත්ථ්යාඥානයෙන් ශුද්ධිය වේ යයි නො කියයි. යම් හෙයකින් හෙතෙම ත්රෛධාතුක පුණ්යයෙහිත් සියලු පාපයෙහිත් නො ඇලුණේ වේ ද, එහෙයින් ආත්මදෘෂ්ටිය ප්රහීණ කෙළේ මේ ත්රෛධාතුක ලෝකයෙහි පුණ්යාභිසංස්කාරාදිය නො කරනුයේ වේ.
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - ‘න’ යනු: ප්රතික්ෂේප යැ; බ්රාහ්මණො - සප්තධර්ම කෙනෙකුන් දුරු කළ වන බැවින් බ්රාහ්මණ යැ; සත්කායදෘෂ්ටිය (ප්රහීණ ) කරන ලද්දී වෙයි, විචිකිත්සාව - ශීලව්රතපරාමර්ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය - ප්රහීණ කරන ලදුයේ වෙයි, ඔහු විසින් සංක්ලෙශික වු පුනර්භවය ඇති කරන්නාවූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මතුයෙහි ජාතිජරාමරණයට හේතු වූ ලාමක අකුශලධර්මයෝ ප්රහීණ කරන ලද්දාහු වෙත්.
1. (‘සභිය’ යි අමතා භාග්යවත්හු මෙසේ වදාළහ:) සියලු පාපධර්මයන් ප්රහීණ කොට එහෙයින් ම විගතමල වූ (-ශ්රේෂ්ඨ වූ) මාර්ගඵලසමාධියෙන් මොනොවට සමාහිත වූ ලොකධර්මයන්ගෙන් කම්පිත නො වන හෙයින් ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්මා සිටි නිමවන ලද කෘත්ය ඇති හෙයින් කේවලී වූ ඒ ක්ෂීණාස්රව තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්රය නැති හෙයින් ‘අසිත’ යයි ද, ලොකධර්මයෙන් නිර්විකාර හෙයින් ‘තාදි’ යයි ද කියනු ලැබේ. හෙතෙම බ්රාග්මණ නම් වේ.
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ - ක්ෂීණාස්රව බ්රාහ්මණ තෙමේ අන්ය වූ අශුද්ධිමාර්ගයෙන් මිත්යාප්රතිපදායෙන් අනෛය්යාණිකපථයෙන් සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - ඉන්ද්රිය - බල - බොජ්ඣ්ඞ්ග - ආර්යාෂ්ටාඞ්ගිකමාර්ගයෙන් වෙන් වැ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො කියයි නො බෙණෙයි නො දක්වයි නො බැවහර කෙරේ නුයි ‘න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ’ යනු වේ.
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - දෘෂ්ට (- මඞ්ගලසම්මත රූපායතන )යෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති. ඔහු ඇතැම් රූපයන් දැකීම මඞ්ගල යයි ද ඇතැම් රූපයන් දැකීම අමඞ්ගල යයි ද හදහති.
කවර රූපයන්ගේ දැකීම ‘මඞ්ගල’ යයි හදහති? යත්: ඒ දෘෂ්ටමාංගලිකයෝ උදෑසන ම නැගීසිට අභිමඞ්ගල බවට (වෘද්ධිකාරණයට ) ගිය ගේකුරුල්ලකු බලති, පුසනකතින් හිදුවන ලද තරැණ බෙලිගසක් බලති, ගැබිනිඅඟනක බලති, දරැවකු ඇකයේ හිඳුවා යනුවක්හු බලති, පුන්කළස බලති, රේමසකු බලති, ආජානීයා අසකු බලති, අජානීය අසුන් යෙදූ රියක් බලති, සෘෂභයකු බලති, කබරදෙනක බලත්. මෙබඳු රූපයන් දැකීම ම්ංගල යයි හදහත්.
කවර රූපයන්ගේ දැකීම ‘අමඞ්ගල’ යයි හදහති ? යත්: පිදුරුමිටියක් දකිත් නම්, මෝරුකළයක් - සිස්කළයක් - නළුවකු - නග්නශ්රමණයකු - කොටළුවකු - කොටළුරියක් - එක ගවයකු යෙදූ රියක්, කණකු - කොරකු - කුදකු - පිළකු - මහල්ලකු - ලෙඩ වූවකු - මළ එකක් හු, දකිත් නම්, මෙබඳු රූපයන්ගේ දැකීම “අමඞ්ගල’ යයි හදහත්.
ඒ මෙකී මහණබමුණෝ දෘෂ්ඨශුද්ධිකයෝ යැ; ඔහු අභිමඞ්ගලසම්මත රූපයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.