3. 7.
යම් හෙයකින් ධුතපාප ඇති ක්‍ෂීණාස්‍රව මහණහු හට කාමාදිභවයන්හි ආත්මභාවලොකයෙහි කිසි තැනෙක්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රකල්පිත (=සලකන ලද) දෘෂ්ටියක් නැද්ද, එහෙයින් ඒ ක්‍ෂීණාස්‍රව තෙම මායාව ද මානය ද දුර ලා සිටියේ රාගාදි කුමකින් නිරයාදිගතිවිශෙෂයකට යන්නේ ද, හෙතෙම තෘෂ්ණාදෘෂ්ටිඋපය (=දෝෂ) රහිත වූයේ මැයි.
ධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු - ‘ධොනො’ යනු: ‘ධොනා’ යී ප්‍රඥාව කියනු ලබයි. අනිත්‍යාදිප්‍රකාරයෙන් ධර්‍මයන් දැනගන්නා වූ අනිත්‍යාදිය විමසන්නා වූ ප්‍රකර්‍ෂයෙන් විමසන්නා වූ සිවුසස්දහම් විමසන්නා වූ අනිත්‍යාදිය සලකන උපලක්‍ෂණ - ප්‍රත්‍යුපලක්‍ෂණ වූ පණ්ඩිතබව කුසලබව නිපුණබව යයි කියන ලද අනිත්‍යාදිය විභාවනය කරන අනිත්‍යාදිය සිතන පරීක්‍ෂා කරන පොළොව මෙන් පතළ හෙයින් භූරි නම් වූ කෙලෙසුන් නසන හෙයින් මේධා යයි කියන ලද යාථාවලක්ෂණප්‍රතිවෙධයෙහි පමුණුවන හෙයින් පරිණායිකා නම් වූ අනිත්‍යාදි විසින් ධර්‍මයන් දක්නා හෙයින් විදර්‍ශනා නම් වූ අනිත්‍යාදිය දැනගන්නා හෙයින් සම්ප්‍රඥාන නම් වූ නොමග යන සිත විදසුන්මඟට නඟන හෙයින් ප්‍රතෝදයක් (=කෙවිටක්) වැනි වූ ප්‍රඥෙන්ද්‍රිය ප්‍රඥාබලය (කෙලෙස් සිඳින හෙයින්) ප්‍රඥශස්ත්‍රය (අත්‍යුද්ගත හෙයින්) ප්‍රඥාප්‍රාසාදය ප්‍රඥාලෝකය ප්‍රඥාවභාසය ප්‍රඥාප්‍රද්‍යොතය ප්‍රඥාරත්නය යි කියන ලද අරමුණෙහි නො මුළා වන හෙයින් අමොහ නම් වූ ධර්‍මවිචය සඞ්ඛ්‍යාත වූ සම්‍යග්දෘෂ්ටි යයි කියන ලද ප්‍රඥාව යි. කවර කරුණෙකින් ප්‍රඥාව ‘ධොනා’ නම් වූ යැ යත්:
ඒ ප්‍රඥාවෙන් කායදුශ්චරිතය කම්පිත වූයේත් ධොවිත = දෝනා ලදුයේත් සන්ධොවිත නිද්ධොවිත වූයේත් වේ ද, වාග්දුශ්චරිතය - මනෝදුශ්චරිතය - රාගය - ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මකුබව - පලාස - (=යුගග්‍රාහ) ය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - සාරම්භ (=කරණුත්තරියකරණ) ය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය ධුත ධෞත සන්ධෞත නිර්ධෞත (=කම්පා කරන ලද සෝදන ලද මැනවින් සෝදන ලද වෙසෙසින් සෝදන ලද) වේ ද, සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාහු වෙත් ද, එ කරුණෙන් ප්‍රඥාව ‘ධොනා’ නම් වූ යැ. නොහොත් සම්‍යග්දෘෂ්ටිය විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටිය කම්පිත ධොවිත සන්ධොවිත නිද්ධොවිත වූ යැ, සම්‍යක්සඞ්කල්පය විසින් මිත්ථ්‍යාසඞ්කල්පය... සම්‍යග්වචනයෙන් මිත්ථ්‍යාවචනය... සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්ථ්‍යාකර්‍මාන්තය ...සම්‍යගාජීවයෙන් මිත්ථ්‍යාජීවය ... සම්‍යග්ව්‍යායාමයෙන් මිත්ථ්‍යාව්‍යායාමය ... සම්‍යක්ස්මෘතියෙන් මිත්ථ්‍යාස්මෘතිය ... සම්‍යක්සමාධියෙන් මිත්ථ්‍යාසමාධිය ... සම්‍යග්ඥානයෙන් මිත්ථ්‍යාඥානය ... සම්‍යග්විමුක්තියෙන් මිත්ථ්‍යාවිමුක්තිය ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාත් වෙයි. නොහොත් ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලෙශයෝ - දුශ්චරිතයෝ - දරථයෝ - පරිදාහයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාහු ද වෙත්. ක්‍ෂීණාස්‍රව තෙමේ මේ ධොනිය ධර්‍මයන්ගෙන් යම් හෙයකින් උපේත - සමුපේත - උපගත - සමුපගත - උපපන්න - සමුපපන්න - සමන්‍විත වූයේ වේ ද, එහෙයින් ක්‍ෂීණාස්‍රව ‘ධොන’ නම් වෙයි. හෙතෙම ධුතරාග ධුතපාප ධුතක්ලෙශ ධුතපරිදාහ ඇති වන බැවින් ‘ධොන’ නම් වේ.
කුහිඤ්චි - කිසිතැනෙක්හි කිසිවෙක්හි අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ ලෝකේ - අපායලෝකයෙහි ... ආයතනලෝකයෙහි. පකප්පිතා - තෘෂ්ණාප්‍රකල්පනා යැ දෘෂ්ටිප්‍රකල්පනා යැයි ප්‍රකල්පනා දෙකෙකි ... භවාභවෙසු - භව-අභව (=කාමභව - රූපාරූප-භවයන්හි (2-5. ගාථානිද්දෙසය.) ... පුනපුනා ආත්මභාවයාගේ පහළ වීමෙහි; ධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු - රහත්හු හට අපායාදිලොකයෙහි ද කාමාදිභවයන්හි ද කල්පිත (=සිතින් ගන්නා ලද) පරිකල්පිත වූ ප්‍රත්‍යයෙන් සකස් කළ ප්‍රත්‍යයවශයෙන් ම මොනොවට තබන ලද දෘෂ්ටීහු නැත, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණ වූවාහු සිඳින ලද්දාහු සන්සිඳණාහු දුර ලන ලද්දාහු උපතට අභව්‍ය වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘ධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු’ යනු වේ.