3. 8.
තෘෂ්ණාදි උපය (=නිඃශ්‍රය) ඇති සත්ත්‍ව තෙමේ රාගරක්ත යැ යනාදි ඒ ඒ දහම්හි ලා වාදයට (=කියැ යුතු බවට) පැමිණෙයි. තෘෂ්ණාදෘෂ්ටි පුහුන් බැවින් උපය රහිත වූ ක්‍ෂීණාස්‍රවයා රාගාදි කවර දහමකින් කිසෙයින් කියන්නේ ද, යම්හෙයකින් ඒ ක්ෂීණාස්‍රවයාහට ආත්මදෘෂ්ටිය හෝ උච්ඡේදදෘෂ්ටිය නැත්තේ ද, යම් හෙයකින් හෙතෙම මේ අත්බැව්හි මැ නුවණ නැමැති දියෙන් සියලු දෘෂ්ටිගතය දෙවී ද, දුරු කෙළේ ද, එහෙයිනි.
උපයො හි ධම්මේසු උපේති වාදං - ‘උපය’ යනු: තෘෂ්ණාඋපය ද දෘෂ්ටිඋපය දැයි උපය දෙකෙක් වෙයි. ...ඔහු විසින් තෘෂ්ණාඋපය අප්‍රහීණ යැ, දෘෂ්ටිඋපය නො හරන ලද්දේ යැ; තණ්හූපය නො පුහුන් වන බැවින් දිට්ඨූපය නො හළ වන බැවින් රක්ත යැයි හෝ ද්විෂ්ට යැ - මූඪ යැ - විනිබද්ධ යැ - පරාමෘෂ්ට යැ - වික්ෂෙපගත යැ - අනිෂ්ඨාගත යැ - ස්ථාමගත යැයි හෝ වාදයට (=කියැයුත් බවට) පැමිණෙයි. ඒ පුණ්‍යාපුණ්‍යනඤ්ජාභිසංස්කාරයෝ අප්‍රහීණ වූවාහු ය. කර්‍මාභිසංස්කාරයන් අප්‍රහීණ වන බැවින් එක්තරා ගතියකින් කීමට පැමිණෙයි, නිරයෙහි උපදිනුයෙකැයි හෝ තිරශ්චීනයෝනි ඇතියෙකැයි හෝ ප්‍රේතවිෂයයෙහි උපදිනුයෙකැයි හෝ මිනිසෙකැයි හෝ දෙවියෙකැයි හෝ රූපී යැයි හෝ අරූපී යැයි හෝ සංඥී යැයි හෝ අසංඥී යැයි හෝ නෛවසංඥීනාසංඥී යැයි හෝ (එක්තරා ගතියකින්) කථනයට පැමිණෙයි, එළැඹෙයි, ග්‍රහණය කෙරෙයි, පරාමර්‍ශ කෙරෙයි, පිවිසේ නුයි ‘උපයො හි ධම්මේසු උපේති වාදං’ යනු වේ.
අනූපයං කෙන කථං වදෙය්‍ය - ‘උපය’ යනු: තණ්හූපය ද දිට්ඨූපය දැයි ‘උපය’ දෙකෙකි. ...ඔහු විසින් තණ්හූපය ප්‍රහීණ යැ. දිට්ඨූපය දුර ලන ලද්දේ යැ. තණ්හූපය ප්‍රහීණ වන බැවින් දිට්ඨූපය දුර ලන ලද වන බැවින් උපය රහිත වූ පුද්ගලයා කවර රාගයක් හේතු කොට ගෙන කියන්නේ ද? කවර ද්වේෂයකින් - මොහයකින් - මානයකින් - දෘෂ්ටියෙකින් - ඖද්ධත්‍යයෙකින් - විචිකිත්සාවකින් - කවර අනුශයධර්‍මයකින් රක්ත යැ යි හෝ දුෂ්ට යැ - මූඪ යැ - විනිබද්ධ යැ - පරාමෘෂ්ට යැ - වික්ෂෙපගත යැ - අනිෂ්ඨාගත යැ - ස්ථාමගත යැ යි හෝ කියන්නේ ද? ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ පුණ්‍යාදි අභිසංස්කාරයන් ප්‍රහීණ වන බැවින් කවර රාගාදික්ලෙශයක් හේතු කොට ගෙන නෙරිසත් වන්නේ යැ යි හෝ... නෛවසංඥීනාසංඥී යැයි හෝ එක්තරා ගතියෙකින් කියන්නේ ද; යම් හෙයකින් කියන්නේ නම් බණන්නේ නම් දක්වන්නේ නම් වහරන්නේ නම්, ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණය නැත් නු යි ‘අනූපයං කෙන කථං වදෙය්‍ය’ යනු වේ.
අත්තං නිරත්තං න හි තස්ස අත්‍ථි - ‘අත්තා’ යී ශාශ්වතදෘෂ්ටිය නැත, ‘නිරත්තා’ යී උච්ඡේදදෘෂ්ටිය නැති. ආත්ම යැයි ගන්නා ලදුයෙක් නැත, නිරාත්ම යැයි හළ යුත්තෙක් නැති. යමක් හට ‘මම යැ මා ගේ යැයි ගන්නා ලදුයෙක් ඇත් නම්, ඔහුට හළ යුත්තෙක් ඇති; යමක් හට හළ යුත්තෙක් ඇත් නම්, ඔහුට ගන්නා ලදුයෙක් ඇති. ග්‍රහණමුඤ්චන ඉක්මවා සිටි රහත්හු වෘද්ධිපරිහාණි ඉක්මැවූහ. ඒ රහත්හු දශවිධ ආර්‍ය්‍යවාසයෙහි වැසැ නිමවූහ. ශීලය සමග අටසමවත්හි චීර්ණවශීහ. සසරඅදන්මඟ ඉක්මැවූහ. සිහිනෙහි පවා නොගියවිරූ නිවන්දසාවට ගියහ. ජාතිමරණසංසාර සඞ්ඛ්‍යාත පුනර්‍භවය ඔවුනට නැත් නු යි ‘අත්තං නිරත්තං න හි තස්ස අත්‍ථි’ යනු වේ.
අධොසි සො දිට්ඨිමිධෙව සබ්බං - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහාණ කරන ලදහ, මුල් සිඳින ලදහ, සන්හිඳුවන ලදහ, අභව්‍යොත්පත්ති කරන ලදහ, නුවණගින්නෙන් දවන ලදහ. ඒ රහතුන් වහන්සේ සියලු දෘෂ්ටිගතය මේ අත්බැව්හි මැ හළහ... විගතාන්ත කළහ, අන්වභාවයට පැමිණැවූහු නු යි ‘අධොසි සො දිට්ඨිමිධෙව සබ්බං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“උපයෝ හි ධම්මේසු -පෙ- දිට්ඨිමිධෙව සබ්බං” යනු.
තුන්වැනි දුට්ඨට්ඨක සූත්‍රනිර්දේශය යි.