3. 5.
යම් දෘෂ්ටිගතිකයක්හුගේ තෘෂ්ණාදෘෂ්ටි විසින් පරිකල්පිත වූ (=සලකන ලද) ප්‍රත්‍යයෙන් සකස් කරන ලද තෘෂ්ණාදෘෂ්ටි පෙරටු කරන ලද අපිරිසුදු වූ දෙසැටදිටුගත ධර්‍ම කෙනෙක් ඇත්තාහු ද, හෙතෙම යම් හෙයකින් ඒ දෘෂ්ටියෙහි ප්‍රත්‍යය සත්කාරාදි දෘෂ්ටධාර්මික වූ ද ගතිවිශෙෂාදි සාම්පරායික වූ ද ආනිසංසයක් දක්නේ ද, එහෙයින් විපාකජනක පරිවර්‍තනශීලි හෙයින් කෝප්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ ද සංවෘතිශාන්ති සඞ්ඛ්‍යාත දෘෂ්ටිය ඇසිරි කොට පවත්නේ වේ.
පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා - ‘පකප්පනා’ යි: තෘෂ්ණාප්‍රකල්පනය ද දෘෂ්ටිප්‍රකල්පනය දැයි ප්‍රකල්පනයෝ දෙදෙනෙකි; ...මෝ තෘෂ්ණාප්‍රකල්පනා යැ... මෝ දෘෂ්ටිප්‍රකල්පනා යි. සඞ්ඛතා - ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දාහු වෙසෙසින් සකස් කරන ලද්දාහු මොනොවට සකස් කරන ලද්දාහු ප්‍රත්‍යයවශයෙන් ම මනා කොට තබන ලද්දාහු නුයි ‘සඞ්ඛත’ නම් වෙති. නොහොත් ඇති වැ නැති වන හෙයින් අනිත්‍ය වූවාහු ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දාහු වස්ත්වාලම්බනයන් නිසා උපන්නාහු ක්‍ෂය වන ස්වභාව ඇත්තාහු පිරිහෙන ස්වභාව ඇත්තාහු නො නැවැතී පහ වන ස්වභාව ඇත්තාහු නිරුද්ධ වන ස්වභාව ඇත්තාහු නුයි ද ‘සඞ්ඛත’ නම් වෙත්. යස්ස - දෘෂ්ටිගතිකයක්හුගේ; ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘ධම්ම’ යී කියනු ලැබෙත් නුයි ‘පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා’ යනු වේ.
පුරෙක්ඛතා සන්ති අවෙවදාතා - ‘පුරෙක්ඛතා’ යනු: තෘෂ්ණාපුරස්කාරය ද දෘෂ්ටිපුරස්කාරය දැයි පුරස්කාරයෝ දෙදෙනෙක් වෙති... ඔහුට (ඔහු විසින් හෝ) තෘෂ්ණාපුරස්කාරය අප්‍රහීණ යැ, දෘෂ්ටිපුරස්කාරය දුරු නො කරන ලද්දේ යැ, ඔහු විසින් තෘෂ්ණාපුරස්කාරය අප්‍රහීණ හෙයින් දෘෂ්ටිපුරස්කාරය දුරු නො කළ හෙයින් හෙතෙම තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට හැසිරෙයි, තෘෂ්ණා නමැති ධ්වජ ඇත්තේ තෘෂ්ණා නමැති කෙහෙලි ඇත්තේ තෘෂ්ණාව අධිපති කොට ඇත්තේ, දෘෂ්ටි නමැති ධ්වජ ඇත්තේ දෘෂ්ටි නමැති කෙහෙලි ඇත්තේ දෘෂ්ටිය අධිපති කොට ඇත්තේ වෙයි. තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ විසින් පිරිවරන ලදුයේ හැසිරේ නුයි ‘පුරෙක්ඛතා’ යනු වේ. සන්ති - ඇත, විද්‍යමාන වෙති, ලැබෙත්. අවෙවදාතා - අනවදාත වූවාහු අපරිශුද්ධ වූවාහු තුමූ කිලිටි වූවාහු කෙලෙසුණාහු නුයි ‘පුරෙක්ඛතා සන්ති අවෙවදාතා’ යනු වේ.
යදත්තනි පස්සති ආනිසංසං - ‘යදත්තනි’ - යං අත්තනි; ‘අත්තා’ යී දෘෂ්ටිගතය කියනු ලැබෙයි තමාගේ දෘෂ්ටියෙහි අනුසස් දෙකක් දකී: දෘෂ්ටධාර්මිකආනෘශංසය සාම්පරායිකආනෘශංසය යි කියා යි. දෘෂ්ටියෙහි දෘෂ්ටධාර්මිකආනෘශංසය කවරැ යත්: ශාස්තෘ තෙම යම් බඳු දෘෂ්ටි ඇත්තේ නම්, ශ්‍රාවකයෝ එබඳු දෘෂ්ටි ඇත්තාහු වෙති. එබඳු දෘෂ්ටි ඇති ශාස්තෘහු හට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙති, ගරු කෙරෙති, බුහුමන් කෙරෙති, පුදති, අඤ්ජලිකර්‍මාදියෙන් අපචායන කෙරෙත්; එකරුණෙන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත්පිරිකර ලබන්නේත් වෙයි. මේ දෘෂ්ටියෙහි දෘෂ්ටධාර්මිකආනෘශංස යි. දෘෂ්ටියෙහි සාම්පරායිකආනෘශංසය කවරැ යත්: ‘මේ දෘෂ්ටිය නාරජබවට හෝ ගුරුළු - යක්සෙනෙවි - අසුර - ගඳෙවු - වරම්රජ - සක්දෙවි - මහබඹ - සම්මුතිදෙව බවට හෝ පමණ යැ, මේ දෘෂ්ටිය ශුද්ධියට විශුද්ධියට පාරිශුද්ධියට මුක්තියට විමුක්තියට සර්‍වප්‍රකාරයෙන් මුක්තියට පමණ යැ, මේ දෘෂ්ටියෙන් ශුද්ධ වෙති, විශුද්ධ වෙති, පාරිශුද්ධ වෙති, මිදෙති, වෙසෙසින් මිදෙති, සර්‍වප්‍රකාරයෙන් මිදෙති; මේ දෘෂ්ටියෙන් ශුද්ධ වෙමි, විශුද්ධ - පාරිශුද්ධ වෙමි, මිදෙමි, වෙසෙසින් මිදෙමි, සර්‍වප්‍රකාරයෙන් මිදෙමී’ අනාගතඵලය කැමැති වන්නේ වෙයි. මේ දෘෂ්ටියෙහි සාම්පරායික ආනෘශංස යි. තමාගේ දෘෂ්ටියෙහි මේ දෙ අනුසස් දකී බලයි සිතයි විමසා නුයි ‘යදත්තනි පස්සති ආනිසංසං’ යනු වේ.
තං නිස්සිතො කුප්පපටිච්චසන්තිං - ශාන්තීහු අත්‍යන්තශාන්ති යැ තදඞ්ගශාන්ති යැ සංවෘතිශාන්ති යැයි තිදෙනෙකි; අත්‍යන්තශාන්ති කවරී ද යත්? සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම ඇති සියලු කාමාදිඋපධි දුරැලූ තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස්රජස් නො ඇලුණු සියලු දුක් නිරුද්ධ වූ අමාමහනිවන ‘අත්‍යන්තශාන්ති’ යයි කියනු ලැබේ; මේ යැ අත්‍යන්තශාන්ති නම්. තදඞ්ගශාන්ති කවරී ද යත්? පළමුවන දැහැනට සමවත්හුගේ නීවරණයෝ සන්හිඳුණාහු වෙති, දෙවැනි දැහැනට සමවත්හුගේ විතර්‍කවිචාරයෝ ශාන්ත වෙති, තෙවැනි දැහැනට සමවත්හුගේ ප්‍රීතිය ශාන්ත වෙයි, සිවුවැනි දැහැනට සමවත්හුගේ සුවදුක් ශාන්ත වෙයි, ආකාසානඤ්චායතනයට සමවත්හුගේ රූපසංඥා ප්‍රතිඝසංඥා නානාත්වසංඥාවෝ ශාන්ත වෙති, විඤ්ඤාණඤ්චායතනයට සමවත්හුගේ ආකාසානඤ්චායතනසංඥාව ශාන්ත වෙයි, ආකිඤ්චඤ්ඤායතනයට සමවත්හුහට විඤ්ඤාණඤ්චායතනසංඥාව ශාන්ත වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවත්හුහට ආකිඤ්චඤ්ඤායතනසංඥාව ශාන්ත (-සන්හිඳුණේ) වේ; මේ තදඞ්ගශාන්තිය යි. සම්මුතිශාන්ති කවරී ද යත්? ‘සම්මුතිශාන්ති’ යයි දෙසැට දෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. (මොහු) දෘෂ්ටිශාන්තීහු යි. වැලිදු සංවෘතිශාන්තිය මේ අර්‍ත්‍ථයෙහි ‘ශාන්ති’ යයි අදහස් කරන ලදී. තං නිස්සිතො කුප්පපටිච්චසන්තිං - (විපාකජනක විසින් ද පරිවර්‍තන විසින් ද) කොප්‍යශාන්ති වූ වෙසෙසින් කොප්‍යශාන්ති වූ චංචලශාන්ති වූ චලිතශාන්ති වූ පීඩිතශාන්ති වූ කම්පිතශාන්ති වූ ප්‍රකම්පිතශාන්ති වූ අනිත්‍ය වූ සංස්කෘත වූ ප්‍රත්‍යයසමුත්පන්න වූ ක්‍ෂය වනසුලු නැසෙනසුලු නො නවත්නාසුලු නිරුද්ධ වන ස්වභාව ඇති ශාන්තිය ඇසුරු කෙළේ වෙසෙසින් ඇසුරු කෙළේ වැලඳගත්තේ ඊට පැමිණියේ ඇතුළු වූයේ ඇලුණේ නුයි ‘තංනිස්සිතො කුප්පපටිච්චසන්තිං’ යනු වේ.