3. 4.
තවද යම් ක්‍ෂීණාස්‍රව මහණෙක් රාගාදි කෙලෙස් සන්හිඳීමෙන් ශාන්ත වූයේ රාගාදි ගිනි නිවීමෙන් නිවුණු සිත් ඇත්තේ ‘මම් මෙසේ වෙමී’ සිල් නිමිති කොට තමා එළවා කියන තෙපුල් නො කියන්නේ වේ ද, යමක්හුගේ ස්කන්ධාදිලොකයෙහි කිසි තැනෙක්හි රාගාදිඋත්සදයෝ නැද්ද, ඔහුගේ ඒ සිය ගුණ නො පාළකිරීම අරීදහමෙකැයි ස්කන්‍ධාදියෙහි නිපුණ වූ බුද්ධාදීහු කියත්.
සන්තෝ ච භික්ඛු අභිනිබ්බුතත්තො - ‘සන්තෝ’ යනු: රාගය සමිත (සන්හිඳුවන ලද) වන බැවින් ශාන්ත යැ, ද්වේෂය සමිත වන බැවින් ශාන්ත යැ, මෝහය සමිත වන බැවින් ශාන්ත යැ, ක්‍රෝධය උපනාහය මකුබව පලාස (යුගග්‍රාහ)ය ඊර්‍ෂ්‍යාව මාත්සර්‍ය්‍යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙසුන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් සමිත වන බැවින් වෙසෙසින් සමිත වන බැවින් දවන ලද වන බැවින් (සියලු සන්තාපයන්) නිවන ලද වන බැවින් දුරු කළ බැවින් ඉපැදීමට නුසුදුසු කළ බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ නිවුණේ සන්හිඳුණේ නුයි ‘සන්ත’ නම. භික්ඛු - (මතු කියන) සප්තධර්‍මයන් භින්න වන බැවින් ‘භික්ඛු’ නම. සත්කායදෘෂ්ටිය බිඳුණේ වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය බිඳුණේ වෙයි. ඔහු විසින් ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය දෙන්නා වූ ක්ලේශදරථ සහිත වූ දුඃඛවිපාක වූ අනාගතයෙහි ජාතිජරාමරණයන්ට කාරණ වූ ලාමක වූ අකුශලධර්‍මයෝ බිඳුණා ලද්දාහු වෙත්.
1. යමෙක් තෙමෙ තමා විසින් වැඩූ මාර්‍ගයෙන් ක්ලේශපරිනිර්‍වාණයට ගියේ ද, එහෙයින් ම තරණය කළ සැක ඇත්තේ ද, විපත්ති සම්පත්ති ආදි භේද ඇති විභවයත් භවයත් දුරු කොට මාර්‍ගවාස වැස නිම වූ ක්‍ෂය කළ පුනර්‍භව ඇති හෙතෙම භික්‍ෂු නම් වේ නුයි-
‘සන්තෝ ච භික්ඛු’ යනු වේ.
අභිනිබ්බුතත්තො - රාගය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, ද්වේෂය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, මෝහය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, ක්‍රෝධය උපනාහය මකුබව පලාස (යුගග්‍රාහ)ය ඊර්‍ෂ්‍යාව මසුරුබව මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙසුන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සර්‍වාකුශලාභිසංස්කාරයන් නිවන ලද වන බැවින් වෙසෙසින් නිවුණු සිත් ඇත්තේ නුයි ‘සන්තෝ ච භික්ඛු අභිනිබ්බුතත්තො’ යනු වේ.
ඉතිහන්ති සීලෙසු අකත්ථමානො - ‘ඉතිහං’ යනු: පදසන්ධි යැ, පදයන්ගේ සංසර්‍ග යැ, පදයන්ගේ එකතු වීම යැ, බ්‍යඤ්ජනයන්ගේ සිලුටුබව යැ, තෙල ‘ඉතිහං’ යනු පදයන්ගේ පරිපාටිය ද වේ. සීලෙසු අකත්ථමානො - මෙ ලොවැ කිසිවෙක් ආත්මවර්‍ණනාව කරනුයේ විවිධ කොට ආත්මවර්‍ණනාව කරනුයේ වෙයි: හෙතෙම ‘මම් සිල්වත්මී’ හෝ කියයි, ව්‍රතසම්පන්නයෙමී හෝ, ශීලව්‍රතසම්පන්නයෙමී හෝ, ජාතියෙන්, ගෝත්‍රයෙන්, කුලපුත්‍රභාවයෙන්, වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වෙමී හෝ කියයි වෙසෙසින් කියයි. මෙසේ නො කියයි, විවිධ කොට නො කියයි. ආත්මවර්‍ණනායෙන් දුරින් දුරු වූයේ නො ඇලුණේ සියලු ලෙසින් වෙන් වූයේ නික්මුණේ වෙන් වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්තවූයේ විගතමර්‍ය්‍යාදා කළ(එක් ව නො යෙදුණු) සිතින් යුක්ත ව වෙසේ නුයි ‘ඉතිහන්ති සීලෙසු අකත්ථමානො’ යනු වේ.
තමරියධම්මං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: ස්කන්‍ධයන්හි නිපුණ වූවාහු ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද - ස්මෘතිප්‍රස්ථාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණ වූවාහු මෙසේ කියති: ‘තෙල ආර්‍ය්‍යයන්ගේ දහමෙකි; අනාර්‍ය්‍යයන්ගේ දහමෙක් නො වෙයි. පණ්ඩිතයන්ගේ දහමෙකි; බාලයන්ගේ දහමෙක් නො වෙයි. තෙල සත්පුරුෂයන්ගේ දහමෙකි; අසත්පුරුෂයන්ගේ දහමෙක් නො වේ ය’යි මෙසේ පවසති, කියති, බෙණෙති, දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමරියධම්මං කුසලා වදන්ති’ යනු වේ.