3. 2.
දෘෂ්ටිච්ඡන්දයෙන් මෙහෙයන ලද දෘෂ්ටිරුචියෙහි බැසගත් තීර්ත්ථක ජන තෙමේ ස්වකීය දෘෂ්ටිය කිසෙයින් හරනේ ද, යළි තමා විසින් රැස් කරන ලද ඒ දෘෂ්ටිගතයන් කරනුයේ යම්සේ දනී නම් එසේ මැ කියන්නේ යි.
සකං හි දිට්ඨිං කථමච්චයෙය්ය - ඒ තීර්ත්ථකයෝ සුන්දරී පිරිවැජිය නසා ශ්රමණශාක්යපුත්රයන්ගේ අගුණ ප්රකට කොට ‘මෙසේ මේ ලාභ යශස් සත්කාර සම්මාන උපදවම්හ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු මෙබඳු කැමැත්ත - මෙබඳු රුචිය - මෙබඳු ලබ්ධිය - මෙබඳු අදහස - මෙබඳු අධිප්රාය ඇත්තාහු, ඔහු ස්වකීය දෘෂ්ටිය කැමැත්ත රුචිය ලබ්ධිය අධ්යාශය ස්වකීය අධිප්රාය ඉක්මවන්නට නො හැකි වූහ. වැලි එ මැ අයස ඔවුන් කරා පෙරළා පැමිණියේ නුයි මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්ය’ යනු වේ. නොහොත් ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සැබැවැ, අන්යය සිස් යැ’ යන මෙබඳු වාදය ස්වකීය දෘට්ඨිය සිය කැමැත්ත සිය රුචිය සිය ලබ්ධිය සිය අදහස සිය සිතැඟිය කෙසේ නම් ඉක්මවන්නේ ද, අතික්රමණය සමතික්රමණය කරන්නේ ද, බැහැර කරන්නේ ද, (නො කරන්නේ මැයැ.) ඊට කරුණු කිම යත්: ඔහුගේ ඒ දෘෂ්ටි තොමෝ එපරිද්දෙන් සම්පූර්ණ වූවා යැ මොනොවට ගන්නා ලද්දී යැ ඇසුරු කොට ගන්නා ලද්දී යැ පරාමර්ශනය කරන ලද්දී යැ අභිනිවේශය කරන ලද්දී යැ ඇතුළත් වූවා යැ බැසගන්නා ලද්දී යැ (එහෙයිනි). මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්ය’ යනු වේ. නොහොත් ආත්මභාවසඞ්ඛ්යාත ලෝකය අශාශ්වත යැ, ලෝකය (ආත්මභාවය) අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, ජීවයත් ශරීරයත් හේ මැයැ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, සත්ත්ව තෙමේ මරණින් මතු (පරලොවැ) වෙයි. සත්ත්ව තෙමේ පරලොව නො මැ වෙයි. සත්ත්ව තෙමේ පරලොවැ උපදනේත් නූපදනේත් වෙයි. පරලොවැ නො මැ වෙයි. නොවන්නේ නො වෙයි. මේ මැ සැබැවැ අන්යය සිස් යැ යන මෙබඳු වාද සඞ්ඛ්යාත වූ ස්වකීය දෘෂ්ටිය... ස්වකීය හැඟීම කෙසේ නම් ඉක්මවන්නේ ද; ඊට හේතු කිම ? යත්: ඔහු විසින් ඒ දෘෂ්ටි තොමෝ නො ඉක්මැවියැ හැකි පරිද්දෙන් පුරන ලද, සමාදන් වන ලද ගන්නා ලද, පරාමර්ශ කරන ලද, අභිනිවේශ කරන ලද, ඇතුළත් වන ලද, බැසගන්නා ලද හෙයිනි. මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්ය’ යනු වේ.
ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො - ‘ඡන්දානුනීතො’ යනු: ස්වකීය දෘෂ්ටියෙන් - කැමැත්තෙන් - රුචියෙන් - ලබ්ධිදියෙන් යවනු ලබයි, පමුණුවනු ලබයි, උසුලනු ලබයි, මොනවට හරිනු ලබා. ඇත්යානකින් හෝ අස්යානකින් හෝ රියකින් හෝ ගවයානකින් හෝ එළුයානකින් හෝ බැටළුයානකින් හෝ ඔටුයානකින් හෝ කොටළුයානකින් හෝ පමුණුවනු ලබන්නාක් මෙන් තමාගේ දෘෂ්ටියෙන් - කැමැත්තෙන් - රුචියෙන් - ලබ්ධිදියෙන් යවනු පමුණුවනු උසුලනු සංහරණය කරනු ලබා නුයි ‘ඡන්දානුනීතො’ යනු වේ. ‘රුචියා නිවිට්ඨො’ යනු: තමාගේ දෘෂ්ටියෙහි කැමැත්තෙහි රුචියෙහි ලබ්ධියෙහි පිවිසියේ පිහිටියේ ඇලුණේ උපගත වූයේ ඇතුළත් වූයේ බැසගන්නා ලද්දේ නුයි ‘ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො’ යනු වේ.