3. 1.
ඇතැම් (අන්යතීර්ථ) කෙනෙක් ඒකාන්තයෙන් විරුද්ධ සිත් ඇත්තාහු මැ (බුදුනට හා සඟනට) උපවාද කෙරෙති (-නුගුණ කියති.) යළි (ඔවුන් ගෙන් ඇසූ) අන් කෙනෙක් ඒකාන්තයෙන් ‘සැබැවැ’ යන සිත් ඇත්තහු මැ උපවාද කෙරෙත්. බුද්ධමුනි තෙම අභූතයෙන් උපන් (තෙල ආක්රෝශ)වාදයට ද නො පැමිණෙයි. එහෙයින් මුනි තෙම කිසි තැනෙක්හි රාගාදි ඛීල (හුල්) නැත්තේ වේ.
වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ - ඇතැම් තීර්ත්ථක කෙනෙක් දූෂිත සිත් ඇත්තාහු ප්රදූෂිත සිත් ඇත්තාහු විරුද්ධ සිත් ඇත්තාහු කෝපයෙන් පහළ සිත් ඇත්තාහු ගැටුණු සිත් ඇත්තාහු බුදුනට ද සඟනට ද අභූතයෙක් (බොරුවෙන්) කියති, උපවාද කෙරෙත් නුයි ‘වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ’ යනු වේ.
අථොපි වෙ සච්චමනා වදන්ති - ඒ තොටුවන්ගේ බස් හදහන ගුණවශයෙන් බැසගත් පැහැදීමෙන් ඉවසන යම් කෙනෙක් වෙත් ද, ඔහු සැබැවැ යන සිත් ඇත්තාහු සැබැවැයි හඟනාහු වූයෙකැ යන සිතැත්තාහු වූයෙකැ යි හඟනාහු අවිපරීත සිතැත්තාහු අවිපරීත වැ හඟනාහු නිශ්චල සිතැත්තාහු නිශ්චල වැ හඟනාහු නිශ්චය වූ සිතැත්තාහු නිශ්චයෙන් හඟනාහු බුදුනට ද සඟනට ද අභූතයෙන් බෙණෙති. උපවාද කෙරෙත් නුයි ‘අථොපි වෙ සච්චමානා වදන්ති’ යනු වේ.
වාදං ච ජාතං මුනි නො උපේති - ඒ ආක්රොශවාදය බුදුනට ද සඟනට ද අභූතයෙන් උපන්නේ හටගත්තේ නිපන්නේ මොනොවට නිපන්නේ පහළ වූයේ මෙරමා බසින් වූයේ උපවාද වූයේ වේ නුයි ‘වාදං ච ජාතං’ යනු වෙයි. මුනි නො උපේති - ‘මුනි’ යනු: (2. 8. සුත්තනිද්දෙසය බලන්න) යමෙක් උපවාදයට පැමිණේ නම්, හෙතෙම දෙ කරුණෙකින් උපවාදයට පැමිණෙයි: කාරක (=කළ දොස ඇතියේ) කාරක බැවින් උපවාදයට පැමිණෙයි. නොහොත් කියනු ලබනුයේ උපවාද කරනු ලබනුයේ ‘මම් අකාරකයෙමී’ කිපෙයි, ව්යාපාදයට පැමිණෙයි, තදබවට පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි. උපවාදයට පැමිණෙනුයේ මේ දෙ කරුණෙන් පැමිණෙයි. බුද්ධමුනි තෙම දෙ කරුණෙකින් උපවාදයට නො පැමිණෙයි: අකාරක වූ මුනි අකාරක බැවින් උපවාදයට නො පැමිණෙයි, නොහොත් (අන්යයන් විසින් කියනු ලබනුයේ උපවාද කරනු ලබනුයේ ‘මම් අකාරකයෙමී’ නො කිපෙයි, පූති නො වෙයි, තද නො වෙයි, කෝපයත් දෝසයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මුනි තෙම මේ දෙ කරුණෙන් උපවාදයට නො පැමිණෙයි, නො එළැඹෙයි, පරාමර්ශ නො කෙරෙයි, නො පිවිසේ නුයි ‘වාදං ච ජාතං මුනි නො උපේති’ යනු වේ.
තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චි - ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්රත්යයයෙන් ඒ නිදානයෙන් මුනිහුගේ කෝපයෙන් පහළ සිතැති බවෙක් ප්රතිඝඛීල (-හුල්) හටගත් බවෙක් නැති. චෙතොඛීල පස ම නැති. රාග දෝස මෝහ යන ඛීල තුන ම නැත්තේයි. නත්ථි - අවිද්යමාන වෙයි, නො ලැබෙයි ප්රහීණ වූයේ සමුච්ඡින්න වූයේ සන්හිඳුණේ සැහැල්ලු වූයේ උපතට නො සුදුසු වූයේ නුවණගින්නෙන් දැවුණේ වෙයි. කුහිඤ්චි යනු: අධ්යාත්මයෙහි හෝ බාහ්යයෙහි හෝ අධ්යාත්මබාහ්යයෙහි හෝ කොහි දු කිසිවෙක්හි දු කිසි තැනෙක්හි දු නුයි තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“වදන්ති වෙ -පෙ- නත්ථි ඛීලො කිහිඤ්චි” යී.
3. 2.
දෘෂ්ටිච්ඡන්දයෙන් මෙහෙයන ලද දෘෂ්ටිරුචියෙහි බැසගත් තීර්ත්ථක ජන තෙමේ ස්වකීය දෘෂ්ටිය කිසෙයින් හරනේ ද, යළි තමා විසින් රැස් කරන ලද ඒ දෘෂ්ටිගතයන් කරනුයේ යම්සේ දනී නම් එසේ මැ කියන්නේ යි.