16. 2.
පසැස් ඇති බුදුහු සදේවක ලෝකයාට යම්සේ පැනෙන සේක් නම්, (මිනිසුන්ට ද එසේ පැනෙති) නොහොත් සදේවක ලෝකයාට අවිපරීත වැ පැනෙන සේක. එකලා වූවාහු මැ (රාගාදි) සියලු අඳුරු දුරු කොට (නෛෂ්ක්‍රම්‍යාදි) රතියට පැමිණි සේකි.
සදෙවකස්ස ලොකස්ස - දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවට මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාවට නුයි ‘සදෙවකස්ස ලොකස්ස’ යනු වේ.
යථා දිස්සති චක්ඛුමා - තවුතිසාබවනෙහි පරසතුමුල පඬුඇඹුල් සලයෙහි වැඩහිඳ දහම් දෙසන බුදුන් දෙවියෝ යම්සේ දකිත් නම් එසෙයින් මිනිස්සු දකිති; මිනිස්සු යම්සේ දකිත් නම්, දෙවියෝ එසේ දකිත්; යම්සේ දෙවියනට පැනෙන සේක් නම්, එසේ මිනිස්නට පැනෙන සේක. යම්සේ මිනිසුන්ට පැනෙන සේක් නම්, එසෙයින් දෙවියනට පැනෙන සේක් නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. තවද යම්සේ ඇතැම් මහණබමුණු කෙනෙක් නො දැමුණාහු දැමුණු ලෙසින් දක්නා ලැබෙත් ද, නො සන්හිඳුණා හු සන්හුන් ලෙසින් දක්නා ලැබෙත් ද, අනුපශාන්ත වූවාහු උපශාන්ත ලෙසින් දක්නා ලැබෙත් ද, නො නිවුණාහු නිවුණු ලෙසින් දක්නා ලැබෙත් ද,
1. “ස්වර්ණප්රතිරූප වූ මැටියෙන් කළ කුණ්ඩලාභරණයක් සෙයින් ද, රනින් වැසූ ලොහොමස්සක් සෙයින් ද, ලොවැ පිරිවරින් වැසුණාහු ඇතුළත රාගාදියෙන් අශුද්ධ වූවාහු පිටත චීවරාදියෙන් ශෝභමාන වූවාහු හැසිරෙත්” යයි.
බුදුහු එසේ නො දක්නා ලැබෙත්. බුදුහු විද්‍යමාන වූ සැබෑ වූ තතු වූ යථාවත් වූ අවිපරීත වූ ස්වභාවයෙන් දැමුණාහු දැමුණු වණින් දක්නා ලැබෙති, සන්හුන් සේක් ශාන්තවර්ණයෙන් දක්නා ලැබෙති, උපශාන්ත වූ සේක් උපශාන්තවර්ණයෙන් දක්නා ලැබෙති, (ක්ලේශපරිනිර්‍වාණයෙන්) නිවුණාහු නිවුණු වණින් දක්නා ලැබෙත්. තවද භාග්‍යවත් බුදුවරයෝ අකල්පිත (- නො සැරසූ) ඉරියවු ඇත්තාහු පරිපූර්ණ ප්‍රාර්‍ත්‍ථනා ඇත්තාහු නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. නොහොත් බුදුහු පවිත්‍ර වූ කීර්‍තතිඝෝෂ ඇති සේක් පැතිරැගිය කීර්‍තතිඝෝෂ හා ප්‍රශංසා ඇත්තාහු නාවිමන්හි දු ගුරුළුවිමන්හි දු යක්විමන්හි දු අසුරවිමන්හි දු ගදඹවිමන්හි දු සිවුවරමුන්ගේ විමන්හි දු දෙව්රදවිමන්හි දු බඹවිමන්හි දු දෙව්විමන්හි දු එබඳු වූවාහු දු එයින් අතිරේක වූවාහු දු දක්නා ලැබෙත් නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. නොහොත් බුදුහු දශබලයෙන් චතුර්වෛශාරද්යයෙන් සිවුපිළිසිඹියාවෙන් ෂඩභිඥාවෙන් ෂඩ්විධ බුද්ධධර්මයෙන් ද තේජසින් ද බලයෙන් ද ගුණයෙන් ද වීර්‍ය්‍යයෙන් ද ප්‍රඥාවෙන් ද සමන්විත වූවාහු දක්නා ලැබෙති, දන්නා ලැබෙති, පැනෙන සේකි.
2. (උත්සන්න කුශලමූල ඇති) සත්පුරුෂයෝ දුර සිටියාහු නමුදු හිමවත් පර්වතය සෙයින් ප්‍රකාශ වෙති. මෙ ලොවැ (ආමිෂගරුක වූ) අසජ්ජනයෝ රෑ වීදි හී සෙයින් නො පැනෙන්නාහු යි.
මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. චක්ඛුමා යනු බුදුහු පසැසකින් චක්ෂුර්මත් වූහ: මසැසිනු දු චක්ෂුර්මත්හ, දිවැසිනු දු චක්ෂුර්මත්හ, පැනැසිනු දු චක්ෂුර්මත්හ, බුදුඇසිනු දු චක්ෂුර්මත්හ, සමතැසිනු දු චක්ෂුර්මත්හු යි.
කිසෙයින් බුදුහු මසැසිනු දු චක්ෂුර්මත් වූහ යත්: බුදුන්ගේ මසැස්හි නිල් පැහැය ද රන්වන් පැහැය ද රත් පැහැය ද කළු පැහැය ද සුදු පැහැය ද යන පඤ්ච වර්ණයෝ විද්‍යමාන වෙති. තව ද බුදුන්ගේ අක්‍ෂිරොම වෙයි, යම් තැනෙක්හි අක්‍ෂිරොම පිහිටියේ ද එතැන දියමෙරළියමල් සුදුසු සුනිල් පිරිසුදු දැකුම්කලු නිල් පැහැ වෙයි, එ ඉක්බිති කිණිහිරිමල් සුදුසු සුකසාවන් රන්වන් පිරිසුදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිදුගොව් සුදුසු සුරත් පිරිසුදු දැකුම්කලු රත්පැහැ වෙයි, මැද රුක්පෙණලඇට සුදුසු ඉතා කළු මෙළෙක් සිනිඳු පිරිසිදු දැකුම්කලු කළුපැහැ වෙයි, එ ඉක්බිති දවහත්තරු සුදුසු ඉතා සුදු හෙළ පඬෙර පිරිසුදු දැකුම්කලු සුදුපැහැ වේ. බුදුහු අත්බැව් ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පස්පෑ දිස්නා පියවි මසැසින් දාවල්හි දු රැයිදු හාත්පස සියක් යොදුන් දකිති.