16. 17.
මේ ශාසනයෙහි ඒ මහණ තෙමෙ (සිඟායන) කාලයෙහි පිණ්ඩපාත සඞ්ඛ්‍යාත ආහාරය ද චීවර සඞ්ඛ්‍යාත වස්ත්‍රය ද ලැබ ඉතරෙතරප්‍රත්‍යයසන්තොෂය සඳහා (පටිග්ගහනපරිභොගයෙහි) පමණ දන්නේ යැ. හෙ තෙමෙ ඒ ප්‍රත්‍යයන්හි සංවර වූයේ ගම්හි සංවර වැ හැසිරෙනුයේ මෙරමා විසින් ගටන ලදුයේ නමුදු පරුෂවචන නො කියන්නේ යි.
අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ - ‘අන්නං’ යනු: බත් කොමුපිඬු හත්වට මාළු මස් යන මේ යි. වසනං යනු: ෂට් චීවරයෝ යැ: කොමුපිළී කපුපිළී තිහිරිපිළී කම්බලපිළී සණපිළී මුසුපිළී යැ. අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ - සිවුරු ලැබ පිණ්ඩපාතය ලැබ, විස්මය කරවීමෙන් නො වැ උසස් කොට බිණීමෙන් නො වැ නිමිති කරන බැවින් නො වැ මෙරමා ගුණ නසන බැවින් නො වැ ලාභයෙන් ලාභ සොයන බැවින් නො වැ දැව දීමෙන් නො වැ හුණදඬු දීමෙන් නො වැ (තල් ආදි) පත්‍රදානයෙන් නො වැ පුෂ්පදානයෙන් නො වැ ඵලදානයෙන් නො වැ නහනු දීමෙන් නො වැ සුණු දීමෙන් නො වැ මැටි දීමෙන් නො වැ දැහැටිදඬු දීමෙන් නො වැ මුව දෝනා දිය දීමෙන් නො වැ චාටුබස් කියන බැවින් නො වැ මුද්ගසූපයක් වැනි වීමෙන් නො වැ (දරුවන් වැඩීමාදි) පරිහටභාවයෙන් නො වැ මෙරමා පිටුමස් කනබැවින් නො වැ වාස්තවිද්‍යාවෙන් නො වැ තිරශ්චීනවිද්‍යාවෙන් නො වැ අඞ්ගවිද්‍යාවෙන් නො වැ නක්‍ෂත්‍රවිද්‍යාවෙන් නො වැ දූතමෙහෙවරින් නො වැ පණිවුඩ ගෙනයෑමෙන් නො වැ පාමෙහෙවරින් නො වැ වෙදකමින් නො වැ පිණ්ඩප්‍රතිපිණ්ඩකයෙන් නො වැ දානානුප්‍රදානයෙන් නො වැ දැහැමින් සෙමෙන් ලැබ, ලබා, පැමිණ. විඳ, ප්‍රතිලාභ කොට නුයි ‘අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ’ යනු වේ.
මත්තං ස ජඤ්ඤා ඉධ තොසනත්‍ථං - ‘මත්තං ස ජඤ්ඤා’ යනු: දෙ කරුණෙකින් පමණ දන්නේ යැ: ප්‍රතිග්‍රහණ හෙයින් හෝ පරිභෝග හෙයින් හෝ යැ. කිසෙයින් ප්‍රතිග්‍රහණ හෙයින් මාත්‍රඥ වේ ද යත්: මඳක් නමුදු දෙනු ලබන කල්හි කුලයන්ට කරුණා සඳහා කුලයන් රක්නා සඳහා කුලයන්ට අනුකම්පා සඳහා පිළිගනී ද, බොහෝවකුදු දෙනු ලබන කල්හි කයට යෙහෙන පමණ සිවුරු පිළිගනී ද, කුසට යැපෙන පමණ පිණ්ඩපාතය පිළිගනී ද, මෙසේ ප්‍රතිග්‍රහණ හෙයින් මාත්‍රඥ වේ.
කිසෙයින් පරිභෝග හෙයින් මාත්‍රඥ වේ ද යත්: නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට සිවුරු පරිභෝග කෙරෙයි: ශීත නසනු පිණිස උෂ්ණ නසනු පිණිස මැසි මදුරු වා අව් දිග්දෑපහස් නසනු පිණිස මැ යැ, ලජ්ජාකොපනය මුවහ කරනු පිණිස මැ යි. නුවණින් විමසා පිණ්ඩපාතය වළඳයි: කෙළි පිණිස නො වළඳයි, මද පිණිස නො වළඳයි, අලඞ්කාර පිණිස නො වළඳයි, සැරැසුම් පිණිස නො වළඳයි, මේ සිරුර පවත්නා සඳහා යැපීම පිණිස බඩගිනිවෙදනා නසනු පිණිස බඹසරට අනුග්‍රහ පිණිස මැ යැ. මෙසේ පැරණි බඩගිනි වේදනා ත් නසමි, අලුත් වේදනා ත් නූපදවමි, මාගේ ජීවිතයාත්‍රාව ද අනවද්‍යභාව ද ඵාසුවිහරණය ද වන්නේ යයි. නුවණින් විමසා සෙනසුන් සෙවන කෙරෙයි: ශීත නසනු පිණිස උෂ්ණ නසනු පිණිස මැසි මදුරු වා අව් දිග්දෑපහස් නසනු පිණිස මැ යැ, ඍතුපීඩා නසනු පිණිස හා විවෙකසුව පිණිස මැයි. නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කරයි: රොගපීඩාවෙන් උපන් වේදනාවන් නසනු පිණිස නිදුක් පරමබව පිණිස මැයි. මෙසේ පරිභෝග හෙයින් මාත්‍රඥ වේ. මත්තං ස ජඤ්ඤා - මේ දෙ කරුණෙන් පමණ දන්නේ යැ, හාත්පසින් දන්නේ යැ වෙසෙසින් දන්නේ යැ අවබෝධ කරන්නේ නුයි ‘මත්තං ස ජඤ්ඤා’ යනු වේ.
ඉධ තොසනත්‍ථං යනු: මෙහි මහණ තෙමේ ඉතරෙතර චීවරයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර චීවරසන්තොෂයාගේ ගුණ කියන සුලු වූයේත් වේ, චීවරහේතුයෙන් අයුතු වූ අනෙසනයට නො ද පැමිණෙයි, සිවුරු නො ලැබ ද පීඩාවට නො පැමිණෙයි, සිවුරු දැහැමින් සෙමෙන් ලැබ ද (ලෝභයෙන්) නො ගෙතුණේ නො මුසපත් වූයේ තෘෂ්ණායෙන් නො වැතුරුණේ ආදීනව දක්නාසුලු වූයේ නිස්සරණප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි. තවද ඒ ඉතරෙතරචීවරසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ. තවද යම් මහණෙක් ඒ චීවරසන්තොෂයෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ සම්‍යක්ප්‍රඥාවෙන් යුක්ත වූයේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පැරණි වූ ද අග්‍ර යයි දතයුතු වූ ද ආර්‍ය්‍යවංශයෙහි සිටියේ වේ. නැවැත ද මහණ තෙමෙ ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර පිණ්ඩපාතසන්තෝෂයෙහි ගුණ කියන සුලු වූයේ ත් වෙයි, පිණ්ඩපාතය නිසා අයුතු වූ අනෙසනයට නොද පැමිණෙයි, පිණ්ඩපාතය නො ලැබ ද නො තැවෙයි, පිණ්ඩපාතය ලැබ ද නො ගෙතුණේ නො මුසපත් වූයේ නො මඩනා ලදුයේ ආදීනව දක්නා සුලු වූයේ නිස්සරණප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි. තවද ඒ ඉතරෙතරපිණ්ඩපාතසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ. තවද යමෙක් ඒ පිණ්ඩපාතසන්තෝෂයෙහි දක්‍ෂ වූයේ අලස නො වූයේ නුවණැතියේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පෞරාණික වූ අග්‍රගණ්‍ය වූ ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යයි කියනු ලැබේ. නැවැත ද මහණ තෙමෙ ඉතරෙතර සේනාසනයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර සෙනාසනසන්තොෂයෙහි ගුණ කියන සුලු වූයේත් වෙයි, සේනාසනය නිසා අයුතු වූ අනෙසනයට නො ද පැමිණෙයි, සෙනසුන් නො ලැබ ද නො තැවෙයි, යළි සෙනසුන් ලබා නො ගෙතුණේ නො මුසපත් වූයේ නො මඩනා ලදුයේ ආදීනව දක්නාසුලු වූයේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි, තවද ඒ ඉතරෙතර සෙනාසනසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ.