15. 12.
සත්යයෙන් නො ඉක් මැ සිටිනා වූ මුනි වූ ඒ ක්ෂීණාස්රව බ්රාහ්මණ තෙම නිර්වාණස්ථලයෙහි සිටී. හෙතෙම ඒකාන්තයෙන් සියලු ආයතනයන් දුරලා (සිටියේ) ශාන්ත වූයේ යයි කියනු ලැබේ.
සච්චා අවොක්කමං මුනි - සත්යවචනයෙන් නො ඉක්මෙනුයේ සම්යග්දෘෂ්ටියෙන් නො ඉක්මෙනුයේ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගයෙන් නො ඉක්මෙනුයේ; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි … සඞ්ගජාලය ඉක්මවා හෝ මුනි වූයේ නුයි ‘සච්චා අවොක්කමං මුනි’ යනු වේ.
ථලෙ තිට්ඨති බ්රාහ්මණො - ‘ථල’ යී අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්ෂය වීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එය යි. බ්රාහ්මණො යනු: සප්ත ධර්ම කෙනෙකුන් බාහිත වන බැවින් බ්රාහ්මණ යැ … තාදී වූ හෙතෙම බ්රාහ්මණ යයි කියනු ලැබේ. ථලෙ තිට්ඨති බ්රාහ්මණො යනු: ස්ථලයෙහි සිටී, ද්වීපයෙහි සිටී, ත්රාණයෙහි සිටී, ලෙණයෙහි සිටී, සරණයෙහි සිටී: අභයයෙහි සිටී, අච්යුතයෙහි සිටී, අමෘතයෙහි සිටී, නිර්වාණයෙහි සිටී නුයි ‘ථලෙ තිට්ඨති බ්රාහ්මණො’ යනු වේ.
සබ්බං සො පටිනිස්සජ්ජ - ‘සබ්බං’ යි ද්වාදශායතන කියනු ලැබෙයි: ඇස ද රූපයෝ ද … මනස ද ධර්මයෝ දැයි. යම් තැනෙක සිට ආධ්යාත්මික බාහ්යායතනයන්හි ඡන්දරාගය ප්රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනුඅභාවය කරන ලද්දේ අනාගතයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි; මෙතෙකිනු දු සියල්ල ත්යාග කරන ලද්දේ වමනය කරන ලද්දේ මුදන ලද්දේ ප්රහීණ කරන ලද්දේ දුරලන ලද්දේ වෙයි. යම් තැනෙක සිට තෘෂ්ණාව ද දෘෂ්ටිය ද මානය ද ප්රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු සියල්ල ත්යක්ත - වාන්ත - මුක්ත - ප්රහීණ - ප්රතිනිඍෂ්ට වේ ද. යම් තැනෙක සිට පුණ්යාභිසංස්කාරය ද අපුණ්යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු සියල්ල ත්යක්ත වූයේ වාන්ත වූයේ මුක්ත වූයේ ප්රහීණ වූයේ දුරලන ලද්දේ වේ නුයි ‘සබ්බං සො පටිනිස්සජ්ජ’ යනු වේ.
ස චෙ සන්තෝ ති වුච්චති - හෙතෙම ශාන්ත යැ උපශාන්ත යැ වෙසෙසින් සන්හිඳුණේ යැ නිවුණේ යැ (ඵලයෙන්) පටිප්පස්සම්හිත වූයේ යයි කියනු ලැබෙයි, පවසනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, වහරනු ලැබේ නුයි ’ස චෙ සන්තෝ ති වුච්චති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සච්චා අවොක්කමං මුනි -පෙ- ස චෙ සන්තෝ ති වුච්චති” යී.
15. 13.
අනිත්යාදිවශයෙන් සංස්කෘත ධර්මයන් දැන තෘෂ්ණා - දෘෂ්ටිනිඃශ්රය රහිත වූ හෙතෙම ඒකාන්තයෙන් පණ්ඩිත වූයේ වෙයි. හෙතෙම සතර මාර්ගඥානවේදයට පැමිණියේ වෙයි. හෙතෙම සත්ත්වලෝකයෙහි මැනැවින් ඉරියවු පවත්වනුයේ මෙලොවැ කිසිවකුට ත් තෘෂ්ණා නො කෙරේ.
ස වෙ විද්වා ස වේදගු - ‘විද්වා’ යනු: විද්වත් වූයේ විද්යාවට පැමිණියේ නුවණැත්තේ වීමංසන ප්රඥා ඇත්තේ ධාරණ ප්රඥා ඇත්තේ; වේදගු යනු: යැයි සතර මාර්ගඥානය වේදයෝ කියනු ලැබෙති, … සියලු ශාස්ත්රවෙදය ඉක්මවා සියලු වේදනාවන්හි පහවූ ඡන්දරාග ඇති හෙතෙම වේදගු වේ යයි ‘ස වෙ විද්වා ස වේදගු’ යනු වේ.
ඤත්වා ධම්මං අනිස්සිතො - ‘ඤත්වා’ යනු: දැන දැනැගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට: ‘සියලු සංස්කාරයෝ අනිත්යයෝ යැ’ යි දැන දැනැගෙන තුලනය - තීරණය - විභාවනය - විභූත කොට ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි … යම් කිසිවක් සමුදයධර්ම නම් ඒ සියල්ල නැසෙන සුලු යැ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, අනිස්සිතො යනු: නිඃශ්රය දෙකෙකි: තෘෂ්ණා නිඃශ්රය ද දෘෂ්ටිනිඃශ්රය දැ’ යි … මේ දෘෂ්ටිනිඃශ්රය යි, තෘෂ්ණානිඃශ්රය හැරදමා, දෘෂ්ටිනිග්රහය දුරලා, ඇස ඇසුරු නො කෙළේ - කන ඇසුරු නො කෙළේ - නැහැය ඇසුරු නො කෙළේ … දෘෂ්ට - ශ්රැත - මුත - විඥාතව්යධර්මයන් (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අනිඃශ්රිත වූයේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො බැසගත්තේ (එයින්) නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්ය්යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘ඤත්වා ධම්මං අනිස්සිතො’ යනු වේ.