14. 7.
අනාවරණ වූ පසැස් ඇතියේ උවදුරු දුරු කරන්නා වූ තමන් අයත් වූ නොහොත් තමන් විසින් ප්‍රත්‍යක්‍ෂ කළ ධර්‍මය වදාළේ ය. මුබට කල්‍යාණයෙක් වේවා. නොහොත් මුබගේ භද්‍ර වූ ප්‍රතිපදාව වදාළ මැනවි. ප්‍රතිමොක්‍ෂය ද යළි සමාධිය ද වදාළ මැනැවි.
අකිත්තයී විවටචක්ඛු - ‘අකිත්තයී’ යනු: දක්වන ලද පවසන ලද දෙසන ලද පනවන ලද තබන ලද විවෘත කරන ලද විභාග කරනලද ප්‍රකට කරන ලද ප්‍රකාශ කරන ලද නුයි ‘අකිත්තයී’ යනු වේ. විවටචක්ඛු යනු: බුදුහු පසැසකින් විවටචක්ඛු වූහ: මසැසිනු දු විවටචක්ඛු යහ, දිවැසිනු දු විවටචක්ඛු යහ, පැනැසිනු දු විවටචක්ඛු යහ, බුදුඇසිනු දු විවටචක්ඛු යහ, සමතැසිනු දු විවටචක්ඛු වූහ.
කිසෙයින් බුදුහු මසැසිනුදු ‘විවටචක්ඛු’ වූහ යත්: භාග්‍යවත්හුගේ මසැස්හි නිල්පැහැය ද රන්වන් පැහැය ද රත්පැහැය ද කළුපැහැය ද සුදුපැහැය ද යන පඤ්චවර්‍ණයෝ විද්‍යමාන වෙති. තවද බුදුන්ගේ අක්‍ෂිරොම යම් තැනෙක්හි පිහිටියේ ද එතැන දියමෙරළියමල් සිදිසි සුනිල් පිරිසුදු දැකුම්කලු නිල්පැහැ වෙයි. එ ඉක්බිති කිණිහිරිමල් සදිසි සුකසාවන් රන්වන් පිරිසුදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිඳුගොව් සදිසි සුරත් පිරිසිදු දැකුම්කලු රත්පැහැ වෙයි. මැද රුකපෙණල ඇට සදිසි ඉතා කළු මොළොක් සිනිඳු පිරිසිදු දැකුම්කලු කළුපැහැ වෙයි. ඉනික්බිති දවහත්තරු සදිසි ඉතා සුදු සිත පඬෙර පිරිසිදු දැකුම්කලු සුදුපැහැ වේ. බුදුහු අත්බැව ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පියවි මසැසින් දහවල්හි දු රැයි දු හාත්පසින් යොදුනක් දකිති. යම් කලෙක චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරය වේ ද; හිරු අස්තයට ගියේ වේ ද, කෘෂ්ණපක්‍ෂයෙහි පොහොයත් වේ ද, ගහන වූ වනලැහැබත් වේ ද, මහත් කළු වලාකුළු නැඟුණේත් වේ ද, මෙබඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහි පවා හාත්පස යොදුනක් දකිති, එහි ඒ බිත්තියක් හෝ දොරක් පවුරක් ගලක් ගසක් වැලක් හෝ රූපදර්‍ශනයට ආවරණයෙක් නොවේ. ඉදින් එක් තලඇටයෙක් ලකුණු කොට තලගැලෙක බහාලන්නේ නම්, ඒ තලඇටය මැ නඟාගන්නා සේක. බුදුන්ගේ පියවි මැසැස මෙසේ පිරිසිදු වේ. මෙසේ බුදුහු මසැසිනුදු විවටචක්ඛු වන සේක.
කිසෙයින් බුදුහු දිවැසිනුදු ‘විවටචක්ඛු’ වූහ යත්: බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටියා වූ දිවැසින් ච්‍යුත වන්නාවූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලන සේක: ‘යහහ, මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය. ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි අය රහිත වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු (බුද්ධාදි) ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයට පැමිණියාහ’ යි කම් වූ පරිද්දෙන් පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන්නාවූ ද උපදනාවූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලනා සේක. කම් වූ පරිදි (පරලොව) පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක. තවද බුදුහු කැමැති වන්නාහු නම් එක් ලෝකධාතුවකු දු බලන සේක. ලෝකධාතු දෙකක් ද - තුන් ලෝකධාතුවකුදු - සිවු ලෝකධාතුවකු දු - පස් ලෝකධාතුවකු දු බලන සේක. දස ලෝකධාතුවකු දු - විසි ලෝකධාතුවකු දු තිස් ලෝකධාතුවකු දු සතලිස් ලෝකධාතුවකු දු පනස් ලෝකධාතුවකු දු සියක් ලෝකධාතුහු ද බලන සේක, සහස්‍රී චූලතීලෝකධාතුව ද බලන සේක. ද්විසහස්‍රී මධ්‍යමලෝකධාතුව ද බලන සේක, ත්‍රිසහස්‍රීමහාසහස්‍රීලෝකධාතුව ද බලන සේක. තවද යම් පමණ කැමැති වන සේක් නම්, එපමණ බලන සේක. බුදුන්ගේ දිවැස මෙසේ පරිශුද්ධ වේ. මෙසේ බුදුහු දිවැසිනු දු ‘විවටටචක්ඛු’ වන සේක.