12. 7.
සත්‍යය එකෙක් මැ (නිරෝධය හෝ මාර්‍ගය හෝ) වෙයි, දෙවැන්නෙක් නැත, යම් සත්‍යයක් දන්නාවූ පුද්ගල තෙමේ විවාද නො කරන්නේ නම් එය යි; ඒ මහණබමුණෝ නානා සත්‍යයන් තුමූ මැ කියති, එ කරුණෙන් මහණබමුණෝ එක් සත්‍යයක් නො කියත්.
ඒකං හි සච්චං න දුතියමත්ථි - එක් සත්‍ය යැයි දුඃඛනිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය කියනු ලැබෙයි, යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් නැසීමෙක් ක්ලේශවිරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එයයි: නොහොත් එක් සත්‍ය යැයි මාර්‍ගසත්‍යය කියනු ලැබෙයි, නෛර්‍ය්‍යාණිකසත්‍යය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යි, ඒ කවරේ ද යත්: සම්‍යග්දෘෂ්ටිය සම්‍යක් සංකල්පය සම්‍යග්වචනය සම්‍යක්කර්‍මාන්තය සම්‍යගාජීවය සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය සම්‍යක්සමාධිය නුයි ‘ඒකං හි සච්චං න දුතියමත්ථි’ යනු වේ.
යස්මිං පජා නො විවදෙ පජානං - ‘යස්මිං’ යනු: යම් සත්‍යයක්; ‘පජා’ යනු: සත්ත්‍වයනට නමෙකි; පජානං - යම් සත්‍යයක් ප්‍රකර්‍ෂයෙන් දන්නහු හාත්පසින් දන්නාහු වෙසෙසින් දන්නාහු මැනවින් දන්නාහු සිතින් අවබෝධ කරන්නාහු කලහ නො කරන්නාහු ය, ඩබර නො කරන්නාහු ය, විග්‍රහ නො කරන්නාහු ය, විවාද නො කරන්නාහු ය, මෙධග නො කරන්නාහු ය, කලහ භණ්ඩන විග්‍රහ විවාද මෙධග හරනාහු ය, දුරලන්නාහු ය, බැහැර කරන්නාහු ය, අනභාවයට පමුණුවන්නාහු නුයි ‘යස්මිං පජා නො විවදෙ පජානං’ යනු වේ.
නානා තෙ සච්චානි සයං ඵුනන්ති - ඔවුහු නානා සත්‍යයන් තුමූ මැ පසසති, පවසති, කියති, බෙණෙති දක්වති බැව්හර කෙරෙත්; ‘ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’ යි පසසති පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘නානා තෙ සච්චානි සයං ඵුනන්ති’ යනු වේ.
තස්මා න ඒකං සමණා වදන්ති - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් එකක් නො කියති, නොයෙක් සේ කියති, විවිධ ව කියති අනන්මන කියති, වෙන වෙන මැ කියති පවසති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘තස්මා න ඒකං සමණා වදන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඒකං හි සච්චං -පෙ- තස්මා න ඒකං සමණා වදන්ති” යි.
12. 8.
විරුද්ධවාද ඇති (ස්වලබ්ධියෙහි) පණ්ඩිතවාද ඇති (ඔහු) කුමක් හෙයින් නානා සත්‍යයන් කියත් ද? (ඔවුන් විසින්) බොහෝ වූ නානා සත්‍යයන් අසන ලද්දාහු ද? නොහොත් ඔවුහු තර්‍කමාත්‍රයක් අනුව යෙත් ද?
කස්මා නු සච්චානි වදන්ති නානා - ‘කස්මා’ යනු: කුමක් හෙයින් කිකරුණෙන් කවර හේතුයෙකින් කවර ප්‍රත්‍යයෙකින් කවර නිදානයෙකින් සත්‍යයන් නන් ලෙස කියත් ද? විවිධ ව කියත් ද? අනන්මන කියත් ද? වෙන වෙන ම පවසත් ද? කියත් ද? වෙන වෙන මැ පවසත් ද? කියත් ද? බෙණෙත් ද? දක්වත් ද? ව්‍යවහාර කෙරෙත් දැ’යි ‘කස්මා නු සච්චානි වදන්ති නානා’ යනු වේ.
පවාදියා සෙ කුසලාවදානා - ‘පවාදියා සෙ’ යනු: විවිධ ව කියත් නුයි ද ‘පාවාදියා සෙ’ යනු වේ; නොහොත් තමතමාගේ දෘෂ්ටිගතය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්: ‘ශාශ්වත යැ ලෝකය, මෙ මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ‘අශාශ්වත යැ ලෝකය … සත්ත්‍වයා මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි. මේ මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. කුසලාවදානා - ස්වලබ්ධියෙහි කුශල යැ යන වාද ඇත්තාහු පණ්ඩිතවාද ඇත්තාහු ස්ථිරවාදඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු සථානවාද ඇත්තාහු නුයි ‘පවාදියා සෙ කුසලාවදානා’ යනු වේ.