12. 6.
ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දෘෂ්ටිසත්‍යයක් සැබැවැයි කියත් ද, එයින් අන්‍ය වූ මහණබමුණෝ ඒ දෘෂ්ටිසත්‍යය තුච්ඡ වූ මෘෂායෙකැයි කියත්. (ඔහු) මෙසේත් දෘෂ්ටිය දැඩිව ගෙන විවාද කෙරෙති. කුමක් හෙයින් ශ්‍රමණයෝ එක් සත්‍යයක් නො කියත් ද?
යමාහු සච්චං තථියන්ති එකෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් මේ සැබව නො සිස් යැ අවිපරීත යැ විද්‍යමාන යැ සංවිද්‍යාමාන යැ අවිසංකෙත යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු සච්චං තථියන්ති එකෙ’ යනු වේ.
තමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති - ඇතැම් මහණබමුණු කෙනෙක් ඒ මැ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල සිස් යැ තෙල මෘෂා යැ තෙල අභූත යැ තෙල බොරු යැ තෙල අසංවිද්‍යාමාන යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති’ යනු වේ.
එවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන විරුද්ධවාදකෙරෙති කලහ කෙරෙති ඩබර කෙරෙති විග්‍රහ කෙරෙති විවාද කෙරෙති මෙධග කෙරෙති; ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ … ඉදින් සමර්‍ත්‍ථ වූවහු නම් මුදාගනැ’ යි (කියත්) නුයි ‘එවම්පි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
කස්මා න ඒකං සමණා වදන්ති - ‘කස්මා’ යනු: කුමක් හෙයින් කිකරුණෙන් කවර හේතුයෙන් කවර ප්‍රත්‍යයෙන් කවර නිදානයකින් කවර සමුදයකින් කවර දැයකින් කවර ප්‍රභවයකින් එකක් නො කියත් ද? නොයෙක් ලෙස කියත් ද? විවිධ ව කියත් ද එකිනෙක කියත් ද වෙන වෙන කියත් ද පවසත් ද බෙණෙත් ද දක්වත් ද ව්‍යවහාර කෙරෙත් දැයි ‘කස්මා න ඒකං සමණා වදන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යමාහු සච්චං -පෙ- කස්මා න ඒකං සමණා වදන්ති” යි.
12. 7.
සත්‍යය එකෙක් මැ (නිරෝධය හෝ මාර්‍ගය හෝ) වෙයි, දෙවැන්නෙක් නැත, යම් සත්‍යයක් දන්නාවූ පුද්ගල තෙමේ විවාද නො කරන්නේ නම් එය යි; ඒ මහණබමුණෝ නානා සත්‍යයන් තුමූ මැ කියති, එ කරුණෙන් මහණබමුණෝ එක් සත්‍යයක් නො කියත්.
ඒකං හි සච්චං න දුතියමත්ථි - එක් සත්‍ය යැයි දුඃඛනිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය කියනු ලැබෙයි, යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් නැසීමෙක් ක්ලේශවිරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එයයි: නොහොත් එක් සත්‍ය යැයි මාර්‍ගසත්‍යය කියනු ලැබෙයි, නෛර්‍ය්‍යාණිකසත්‍යය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යි, ඒ කවරේ ද යත්: සම්‍යග්දෘෂ්ටිය සම්‍යක් සංකල්පය සම්‍යග්වචනය සම්‍යක්කර්‍මාන්තය සම්‍යගාජීවය සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය සම්‍යක්සමාධිය නුයි ‘ඒකං හි සච්චං න දුතියමත්ථි’ යනු වේ.