12. 17.
හෙතෙම ලබ්ධිවිනිශ්චයෙහි සිට තෙමේ මැ (ශාස්තෘ ආදිය) ප්‍රමාණ කොට ගෙන ලෝකයෙහි බොහෝ සෙයින් (- මතුමත්තෙහි) විවාදයට පැමිණෙයි. (මෙසේ ලබ්ධියෙහි දෝෂ දුටු) පුද්ගල තෙමෙ සියලු දෘෂ්ටිවිනිශචයන් හැරපියා ලෝකයෙහි කලහ නො කරන්නේ යි.
විනිච්ඡයෙ ඨත්වා සයං පමාය - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති, විනිශ්චයදෘෂ්ටියෙහි සිට පිහිටා ගෙන දැහැගෙන පිවිසගෙන නුයි ‘විනිච්ඡයෙ ඨත්වා’ යනු වේ; සයං පමාය - ‘මේ ශාස්තෘ සර්‍වඥ ය’ යි හෙතෙම මැනැ පමණ කොට, ‘මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ’යි තෙමේ මැනැ පමණ කොට, ’මේ ගණයා සුප්‍රතිපන්න යැ’ මෝ දෘෂ්ටිය භද්‍ර යැ ‘මෝ ප්‍රතිපදාව සුප්‍රඥප්ත’ යැ, ‘මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’යි තෙමේ මැනැ පමණ කොට නුයි ‘විනිච්ඡයෙ ඨත්වා සයං පමාය’ යනු වේ.
උද්ධං සො ලෝකස්මිං විවාදමෙති - ‘උද්ධං’ යී අනාගතය කියනු ලැබෙයි, තමා ගේ වාදය මතුයෙහි තබා තෙමේ මැ කලහ - භණ්ඩන - විග්‍රහ - විවාද - මෙධගයට එයි පැමිණෙයි එළැඹෙයි, ග්‍රහණය කෙරෙයි පරාමර්‍ෂ කෙරෙයි අභිනිවේශය කෙරේ නුයි මෙසේ ත් - ‘උද්ධං සො ලෝකස්මිං විවාදමෙති’ යනු වේ; නොහොත් තමා මතුයෙහි ලා කථා කරන අනෙකක්හු සමග කලහ කෙරෙයි, ඩබර කෙරෙයි, විග්‍රහ කෙරෙයි, විවාද කෙරෙයි, මෙධග කෙරෙයි: ‘තෝ මේ ධර්‍මවිනය නො දන්නෙහි … නොහොත් ඉදින් පොහෝනෙහි නම් (තමා) මුදාගතැ’ යි මෙසේත් ‘උද්ධං සො ලෝකස්මිං විවාදමෙති’ යනු වේ.
හිත්වාන සබ්බානි විනිච්ඡයානි - ‘විනිච්ඡය’ යි ද ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති; දෘෂ්ටිවිනිශචයයන් සියලු දෙසැට දෘෂ්ටීන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට බැහැර කොට දුරු කොට නසා විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘හිත්වාන සබ්බානි විනිච්ඡයානි’ යනු වේ.
න මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ - කලහ නො කෙරෙයි, ඩබර නො කෙරෙයි, විග්‍රහ නො කෙරෙයි, විවාද නො කෙරෙයි, මෙධග නො කෙරෙයි; මේ වදාළේ මැයි; භාග්‍යවතුන් විසින් - “ගිනිවෙස්න, මෙසේ මිදුණු සිත් ඇති මහණ තෙම කිසිවක්හු සමග සංවාද නො කෙරෙයි, කිසිවක්හු සමග විවාද නො කෙරෙයි, තවද ලෝකයෙහි යමක් කියන ලද නම්, දැඩිව නො ගනිමින් එයින් ව්‍යවහාර කෙරේ යැ” යි ජන්තු යනු: සත්ත්‍ව - නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජ තෙම; ලෝකේ යනු: අපායලෝකයෙහි … ආයතනලෝකයෙහි නුයි ‘න මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“විනිච්ඡයෙ ඨත්වා -පෙ- න මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ” යි.
දොළොස්වැනි ‘චූලවියූහ’ සූත්‍රනිර්දේශය සමාප්ත යි.
13.
මහාවියූහසූත්‍රනිර්දේශය
ඉක්බිති ‘මහාවියුහ’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
13. 1.
ස්වකීය දෘෂ්ටිය දැඩි වැ ගෙන වසන්නාවූ යම් කිසි මහණබමුණු කෙනෙක් ‘මේ (අපගේ ලබ්ධිය) මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි ද කියත් නම්, ඔහු සියල්ලෝ මැ (තමන් වෙන) නින්‍දාව පුනපුනා එළවත් ද? නොහොත් ඒ දෘෂ්ටි නිමිති කොට ගෙන ප්‍රශංසාත් ලබත් ද?