12. 16.
තවද ස්වකීය දෘෂ්ටිමාර්‍ගයෙහි මැ දැඩිව කියන්නාවූ තීර්‍ත්‍ථක තෙම ඒ ස්වකීය මාර්‍ගයෙහි ලා අන්‍ය වූ කවරක්හු බාල යැයි දක්වන්නේ ද, හෙතෙම අන්‍යයා බාලයක්හු කොට අශුද්ධිධර්‍ම ඇත්තක්හු කොට කියනුයේ තෙමේ මැ කලහය එළවන්නේ යි.
සකායනෙ වාපි දළ්හං වදානො - ධර්‍මය ස්වකීය මාර්‍ග යැ, දෘෂ්ටිය ස්වමාර්‍ග යැ, ප්‍රතිපදාව ස්වමාර්‍ග යැ මාර්‍ගය ස්වමාර්‍ග යැ ස්වකීය දෘෂ්ටිමාර්‍ගයෙහි දැඩි වාද ඇත්තේ ස්ථිරවාද ඇත්තේ බලවත් වාද ඇත්තේ පිහිටා කියන ලද වාද ඇත්තේ නුයි ‘සකායතෙ වාපි දළ්හං වදානො’ යනු වේ.
කං තත්‍ථ බාලොති පරං දහෙය්‍ය - ‘තත්‍ථ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි බාල හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් අන්‍ය වූ කවරක්හු සලකන්නේ ද, කවරක්හු බලන්නේ ද කවරක්හු දක්නේ ද කවරක්හු අවලොකනය කරන්නේ ද, කවරක්හු සිතන්නේ ද, කවරක්හු විමසන්නේ දැයි ‘කං තත්‍ථ බාලොති පරං දහෙය්‍ය’ යනු වේ.
සයං ව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද්ධිධම්මං - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ ඔමක යැ ලාමක යැ ඡත්තක යැ පරිත්ත යැ ආශුද්ධිධර්‍ම ඇත්තේ යැ අවිශුද්ධිධර්‍ම ඇත්තේ යැ අපරිශුද්ධිධර්‍ම ඇත්තේ යැ අනවදාතධර්‍ම ඇත්තේ යැ’ යි මෙසේ පවසනුයේ මෙසේ කියනුයේ මෙසේ බණනුයේ මෙසේ දක්වනුයේ මෙසේ වහරනුයේ තෙමේ මැ කලහය භණ්ඩනය විග්‍රහය විවාදය මෙධගය එළවන්නේය මොනවට එළවන්නේය, හැර ගන්නේය මොනවට හැරගන්නේය, අදින්නේය මොනවට අදින්නේය, ගන්නේය, දැහැගන්නේය, පිහිටාගන්නේ නුයි ‘සයං ව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද්ධිධම්මං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සකායනෙ වාපි -පෙ- පරං වදං බාලමසුද්ධි ධම්මං” යි.
12. 17.
හෙතෙම ලබ්ධිවිනිශ්චයෙහි සිට තෙමේ මැ (ශාස්තෘ ආදිය) ප්‍රමාණ කොට ගෙන ලෝකයෙහි බොහෝ සෙයින් (- මතුමත්තෙහි) විවාදයට පැමිණෙයි. (මෙසේ ලබ්ධියෙහි දෝෂ දුටු) පුද්ගල තෙමෙ සියලු දෘෂ්ටිවිනිශචයන් හැරපියා ලෝකයෙහි කලහ නො කරන්නේ යි.
විනිච්ඡයෙ ඨත්වා සයං පමාය - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති, විනිශ්චයදෘෂ්ටියෙහි සිට පිහිටා ගෙන දැහැගෙන පිවිසගෙන නුයි ‘විනිච්ඡයෙ ඨත්වා’ යනු වේ; සයං පමාය - ‘මේ ශාස්තෘ සර්‍වඥ ය’ යි හෙතෙම මැනැ පමණ කොට, ‘මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ’යි තෙමේ මැනැ පමණ කොට, ’මේ ගණයා සුප්‍රතිපන්න යැ’ මෝ දෘෂ්ටිය භද්‍ර යැ ‘මෝ ප්‍රතිපදාව සුප්‍රඥප්ත’ යැ, ‘මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’යි තෙමේ මැනැ පමණ කොට නුයි ‘විනිච්ඡයෙ ඨත්වා සයං පමාය’ යනු වේ.