11. 7.
ක්‍රෝධය ද මෘෂාවාදය ද විචිකිත්සාව ද යන මේ ධර්‍මයෝ ද සාතාසාත දෙක ඇති කල්හි මැ වෙති, විචිකිත්සා සහිත වූ පුද්ගල තෙම ඥානදර්‍ශනඥානාධිගමය පිණිස ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මෙන්නේ ය, බුද්ධශ්‍රමණයන් විසින් දැන (අනිත්‍යාදි) ධර්‍මයෝ දෙසන ලද්දාහු ය
කොධො මොසවජ්ජං ච කථඞකථා ච - ‘කොධො’ යනු: මෙබඳු වූ චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක්... ‘මොසවජ්ජ’යී මෘෂාවාදය කියනු ලැබෙයි; ‘කථඞ්කථා’යී විචිකිත්සාව කියනු ලබයි; ඉෂ්ටවස්තුව නිසා ද කෝපය උපදී, අනිෂ්ටවස්තුව නිසා ද කෝපය උපදි; ඉෂ්ටවස්තුව නිසා ද මෘෂාවාදය උපදී, අනිෂ්ටවස්තුව නිසා ද මෘෂාවාදය උපදි; ඉෂ්ටවස්තුව නිසා ද විචිකිත්සාව උපදී, අනිෂ්ටවස්තුව නිසා ද විචිකිත්සාව උපදී;
කිසෙයින් අනිෂ්ටවස්තුව නිසා කෝපය උපදී ද යත්: පියවින් මැ අනිෂ්ටවස්තුව නිසා කෝපය උපදී; ‘මට අනර්‍ත්‍ථ කෙළේ යැ’යි කෝපය උපදී, මට අනර්‍ත්‍ථ කෙරෙයි කෝපය උපදී, ‘මට අනර්‍ත්‍ථ කරන්නේ යැ’යි කෝපය උපදී, ‘මාගේ ප්‍රිය වූ මනාප වූවහුට අනර්‍ත්‍ථ කෙළේය - අනර්‍ත්‍ථ කරයි – අනර්‍ත්‍ථ කරන්නේයැ’යි කෝපය උපදී; මා ගේ අප්‍රිය අමනාප වූවහුට අර්‍ත්‍ථ කෙළේය – අර්‍ත්‍ථ කරයි - අර්‍ත්‍ථ කරන්නේයැ’යි කෝපය උපදී, මෙසේ අනිෂ්ට වස්තුව නිසා ක්‍රෝධය උපදී. කිසෙයින් ඉෂ්ටවස්තුව නිසා ක්‍රෝධය උපදී ද යත්: ඉෂ්ටවස්තුව ‘අසිඳ ගනිතී’ සැක ඇත්තහුට ද ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව අසිඳුනා කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව අසිඳගත් කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව ‘වෙනස් වෙතී’ සැක ඇත්තහුට ද ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව වෙනස් වන කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව වෙනස් වූ කල්හි දු ක්‍රෝධය උපදී; මෙසේ ඉෂ්ටවස්තුව නිසා ක්‍රෝධය උපදී.
කිසෙයින් අනිෂ්ටවස්තුව නිසා මෘෂාවාදය උපදී ද යත්: මෙහි එකෙක් අන්ද්‍රබන්ධනයෙන් (−යදමින්) හෝ බඳනා ලදුයේ ඒ බන්‍ධනය මුදනු සඳහා දැන දැන බොරු කියයි, රැහැනින් හෝ බඳනා ලදුයේ − හැකිළි බැඳුමෙන් හෝ බඳනා ලදුයේ − වේ වැලින් හෝ බඳනා ලදුයේ– ලතාබන්ධනයෙන් හෝ බඳනා ලදුයේ − සිරබැඳුමෙන් හෝ බඳනා ලදුයේ– පවුරුබැඳුමෙන් හෝ බඳනා ලදුයේ − ගම් නියම්ගම් නගර රටබැඳුමෙන් හෝ බඳනා ලදුයේ – දනවුබැඳුමෙන් හෝ බඳනා ලදුයේ ඒ බන්‍ධනය මුදනු සඳහා දැන දැන බොරු කියයි; මෙසේ අනිෂ්ට වස්තුව නිසා මුසාවාදය උපදී. කිසෙයින් ඉෂ්ටවස්තුව නිසා මුසාවාදය උපදී ද යත්? මෙහි එකෙක් මනවඩන රූපයන් හේතු කොට දැන දැන බොරු කියයි, මන වඩන ශබ්දයක්- ගන්‍ධ - රස ස්ප්‍රෂ්ටව්‍යයන් හේතු කොට - සිවුරු හේතුයෙන් පිණ්ඩපාත – සෙනසුන් - ගිලන්පස බෙහෙත් පිරිකර හේතුයෙන් දැන දැන බොරු කියයි. මෙසේ ඉෂ්ටවස්තුව නිසා මෘෂාවාදය උපදී. කිසෙයින් අනිෂ්ටවස්තුව නිසා විචිකිත්සාව (-සැකය) උපදී ද යත්? චක්‍ෂුරෝගයෙන් මිදෙම් දෝ හෝ චක්‍ෂුරෝගයෙන් නො මිදෙම් දෝ හෝ ශ්‍රොත්‍රරොගයෙන් ඝ්‍රාණරොගයෙන් - ජීහවාරොගයෙන් − කායරොගයෙන් − ශීර්‍ෂරොගයෙන් කර්‍ණරෝගයෙන් – මුඛරොගයෙන් - දන්තරොගයෙන් මිදෙම් දො හෝ, දන්ත රෝගයෙන් නො මිදෙම් දෝ හෝ’යි මෙසේ අනිෂ්ටවස්තුව නිසා සැක උපදී, කෙසේ ඉෂ්ටවස්තුව නිසා සැක උපදී ද යත්? මනවඩන රූපයන් ලැබෙම් දෝ හෝ, ‘මනවඩන රූපයන් නො ලැබෙම් දෝ හෝ, මනවඩන ශබ්ද– ගන්‍ධ – රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලයා - ගණයා - ආවාසය - ලාභය- යශස් - පැසැසුම් – සුව – සිවුරු පිණ්ඩපාත - සෙනසුන් - ගිලන්පසබෙහෙත්පිරිකර නො ලැබෙම් දෝ හෝ’යි මෙසේ ඉෂ්ටවස්තුව නිසා සැක උපදී නුයි ‘කොධො මොසවජ්ජං ව කථඞකථා ච’ යනු වේ.