10. 9.
යම් ක්‍ෂීණාස්‍රවයක් හට (තෘෂ්ණදෘෂ්ටි) නිඃශ්‍රය බව නැත් ද, (යමෙක් අනිත්‍යාදි ආකාරයෙන් සියලු) ධර්‍මය දැන අනිඃශ්‍රිත වූයේ ද, යමකුට භවදෘෂ්ටියෙහි හෝ විභවදෘෂ්ටියෙහි තෘෂ්ණාව අවිද්‍යමාන වේ ද; (ඔහු උපශාන්ත යයි කියමි.)
යස්ස නිස්සයතා නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයක් හට; නිස්සයතා - තෘෂ්ණානිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ’යි නිඃශ්‍රය දෙකෙකි... ඔහු විසින් තෘෂ්ණානිඃශ්‍රය නසන ලද, දෘෂ්ටිනිඃශ්‍රය දුරලන ලද, තෘෂ්ණානිඃශ්‍රය ප්‍රහීණ හෙයින් දෘෂ්ටිනිඃශ්‍රය දුරැලූ හෙයින් නිඃශ්‍රය බව යමක් හට නැත්ද නො වේ ද අවිද්‍යමාන ද නො ලැබේ ද, ප්‍රහීණ වූවා ඥානාග්නීන් දග්ධ නුයි ‘යස්ස නිස්සයතා නත්‍ථි’ යනු වේ.
ඤත්‍වා ධම්මං අනිස්සිතො - ‘ඤත්‍වා’ යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, සියලු සංස්කාරයෝ අනිත්‍යහ’යි, ‘සියලු සංස්කාරයෝ දුක්හ’යි, ‘සියලු ධර්‍මයෝ අනාත්මහ යි. උපදනා පියවි ඇති ඒ සියල්ල නැසෙනසුලු යැ’යි දැන... විභූත කොට; අනිස්සිතො - තෘෂ්ණා දෘෂ්ටි යැයි නිඃශ්‍රයයෝ දෙදෙනෙකි... තෘෂ්ණානිඃශ්‍රය නසා දෘෂ්ටිනිඃශ්‍රය දුරලා චක්‍ෂුස අනිඃශ්‍රිත වූයේ ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - මනස අනිඃශ්‍රිත වූයේ, රූප ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසය. දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍ය ධර්‍මයන් ඇසුරු නො කෙළේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො බැසගත්තේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විංසයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් වෙසේ නුයි ‘ඤත්‍වා ධම්මං අනිස්සිතො’ යනු වේ.
භවාය විභවාය වා තණ්හා යස්ස න විජ්ජති - ‘තණ්හා’ යනු: රූපයෙහි තෘෂ්ණාව ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මතෘෂ්ණා යි යස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; භවාය - භවදෘෂ්ටියෙහි; විභවාය - විභවදෘෂ්ටියෙහි; භවාය - ශාශ්වතදෘෂ්ටියෙහි හෝ; විභවාය උච්ඡේදදෘෂ්ටියෙහි; භවාය - පුන පුනා භවයෙහි පුනපුනා ගතියෙහි පුනපුනා උත්පත්තියෙහි පුනපුනා ප්‍රතිසන්‍ධියෙහි පුනපුනා ආත්මභාවයාගේ පහළ වීමෙහි තෘෂ්ණාව යමක් හට නැත් ද නො වේ ද විද්‍යමාන නො වේ ද නො ලැබේ ද, ප්‍රහීණ වූවා සමුච්ඡින්න වූවා සන්හිඳුණි දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී නුයි ‘භවාය විභවාය වා තණ්හා යස්ස න විජ්ජති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
යස්ස නිස්සයතා නත්‍ථි -පෙ- තණ්හා යස්ස න විජ්ජති” යී.
10. 10.
වස්තුකාමක්ලේශකාමයන්හි අපේක්‍ෂා රහිත වූ ඒ රහත්හු ‘උපශාන්ත ය’යි කියමි. ඔහුට (අභිධ්‍යාකායාදි) ග්‍රන්‍ථයෝ විද්‍යමාන නො වෙති. හෙතෙම තෘෂ්ණාව තරණය කෙළේ යි.
තං බ්‍රෑමි උපසන්තො - (යට දැක්වූ) ඔහු සන්හිඳුණේ යැ වෙසෙසින් සන්හිඳුණේ යැ නිවුණේ යැ නැසූ කෙලෙස් ඇත්තේ යැයි පවසමි ඔහු කියමි බෙණෙමි - දක්වමි - ව්‍යවහාර කෙරෙම් නුයි ‘තං බ්‍රෑමි උපසන්තො’ යනු වේ.
කාමෙසු අනපෙක්ඛිනං - ‘කාමා’ යනු: උදෙස් විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි. වස්තුකාමයන් පරිජානනය කොට ක්ලේශකාමයන් හැර දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා. කාමෙසු අනපෙක්ඛිනං - පහවූ කාම ඇත්තේ හරන ලද - වමනය කළ - මුදන ලද - ප්‍රහීණ කළ - දුරලන ලද කාම ඇත්තේ; කාමයන්හි පහවූ රාග ඇත්තේ විගතරාග වූයේ ත්‍යක්තරාග වාන්තරාග මුක්තරාග - ප්‍රහීණරාග - ප්‍රතිනිඍෂ්ටරාග වූයේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳින සුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘කාමෙසු අනපෙක්ඛිනං’ යනු වේ.
ගන්‍ථා තස්ස න විජ්ජන්ති - ‘ගන්‍ථා’ යනු: ග්‍රන්‍ථයෝ සතර දෙනෙකි: අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්‍ථ යැයි; තමා ගන්නා ලද දෘෂ්ටියෙහි රාගය අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, පරවාදයන්හි කෝපය හා නො සතුට ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, තමාගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය දැඩිව ගැනීම ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, තමා (නුනුවණින්) ගත් දෘෂ්ටිය ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්‍ථ යයි. තස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; ගන්‍ථා තස්ස න විජ්ජන්ති - ග්‍රන්‍ථයෝ ඔහුට නැත, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණයහ සමුච්ඡින්නයහ සන්හිඳුණාහ, දාරලන ලද්දාහු අභව්‍යොත්පත්තිකයහ ඥානාග්නීන් දග්ධ වූවාහු නුයි - ‘ගන්‍ථා තස්ස න විජ්ජන්ති’ යනු වේ.
අතරී සො විසත්තිකං - ‘විසත්තිකා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, එය යි. විසත්තිකා - කිනම් අරුතෙකින් ‘විසත්තිකා’ වූ ද යත්? පතළ වූවා නුයි විසත්තිකා යැ, විශාලවූවා නුයි විසත්තිකා යැ, විස්තෘත නුයි විසත්තිකා යැ, විෂමවූවා නුයි විසත්තිකා යැ, ඉවසා නුයි විසත්තිකා යැ, (සිත) වෙසෙසින් හකුළුවා නුයි විසත්තිකා යැ, විසංවාදන කරන්නී නුයි විසත්තිකා යැ, විෂ (=දුඃඛ හේතු කර්‍ම)යට මූල වූවා නුයි විසත්තිකා යැ, විෂඵල ඇත් නුයි විසත්තිකා යැ, විෂපරිභොග ඇත් නුයි විසත්තිකා යැ; තවද විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයෙහි කුලයෙහි ගණයෙහි ආවාසයෙහි... දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍ය ධර්‍මයන්හි පතළා විස්තාන වූවා නුයි විසත්තිකා නමු. අතරී සො විසත්තිකං- හෙතෙම මේ විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කෙළේ ය, උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය කෙළේ ය, ඉක්මැ වූයේ නුයි ‘අතරී සො විසත්තිකං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තං බ්‍රෑමි උපසන්තොති -පෙ- අතරී සො විසත්තිකං” යී.