10. 8.
යමෙක් ෂඩඞ්ගොපෙක්‍ෂාවෙන් සමන්‍විත වූයේ හැමකල්හි ස්මෘතිමත් වූයේ ලොවැ (කිසිවක්හු හා) සම කොට නො සිතා ද, (මම) ශ්‍රෙෂ්ඪ වෙමි නො සිතා ද හීන වෙමී මන් නැත්තේ වේ ද, ඒ පුද්ගලයා හට උත්සදයෝ නො වෙති. (ඔහු උපශාන්ත යයි කියමි).
උපෙක්ඛකො සදා සතෝ - ‘උපෙක්ඛකො’ යනු ෂඩඞ්ගොපෙක්‍ෂාවෙන් සමන්‍වාගත වූයේ ඇසින් රූපයක් දැක (ලොභවශයෙන්) නො මැ සතුටු සිත් ඇත්තේ වෙයි, (ද්වෙෂවශයෙන්) ද්විෂ්ට සිත් ඇත්තේ නො වෙයි, සිහි ඇතියේ නුවණැතියේ උපේක්‍ෂා සහිත වූයේ වෙසෙයි; කනින් ශබ්දයක් අසා...සිතින් ධර්‍මාලම්බනයක් දැන නො මැ සොම්නස් ඇත්තේ වෙයි, දොම්නස් ඇත්තේ නො වෙයි, සිහි නුවණ ඇතියේ උපේක්‍ෂා සහිත වූයේ වෙසෙයි, ඇසින් මනාප වූ රූපයක් දැක නො ගිජු වෙයි, නො සතුටු වෙයි, රාග නූපදවයි; ඔහු ගේ චක්‍ෂුරාදි කාය සිටියේ (නිශ්චල වූයේ) මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත සිටියේ සුනිශ්චල වූයේ සුවිමුක්ත වූයේ වෙයි.
යළි ඇසින් මැ අමනාප වූ රූපයක් දැක නො මකු වූයේ (ක්‍රෝධවශයෙන්) නො පිහිටි සිත් ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ව්‍යාපාද රහිත සිත් ඇත්තේ වෙයි; ඔහුගේ කය නිශ්චල වූයේ මැ වෙයි. සිත නිශ්චල වූයේ අධ්‍යාත්මයෙහි සුසංස්ථිත සුවිමුක්ත වූයේ වෙයි. කනින් ශබ්දයක් අසා... නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට දිවින් රසයක් ආස්වාද කොට - කයින් පහසක් ස්පර්‍ශ කොට - මනසින් ධර්‍මයක් දැන ඉෂ්ටාලම්බනයට නො ගිජු වෙයි, නො සතුටු වෙයි, රාග නූපදවයි. ඒ රහත්හුගේ කය නිශ්චල වූයේ මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත නිශ්චල වූයේ මොනොවට පිහිටියේ වෙසෙසින් මිදුණේ වෙයි. යළි සිතින් මැ අමනාප වූ ධර්‍මාලම්බනයක් දැන නො මකු වෙයි, (ක්‍රෝධවශයෙන්) නො පිහිටි සිත් ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ව්‍යාපාද රහිත සිත් ඇතියේ වෙයි. ඔහුගේ කය නිශ්චල වූයේ මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත පිහිටියේ සුසංස්ථිත සුවිමුක්ත වෙයි. ඇසින් රූපයක් දැක මනාපාමනාපරූපයන්හි ඔහුගේ කය සිටියේ (-නිශ්චල වූයේ) මැ වෙයි, සිත අධ්‍යාත්මයෙහි සිටියේ සුපිහිටියේ සුවිමුක්ත වෙයි. කනින් ශබ්දයක් අසා... මනසින් ධර්‍මයක් දැන මනාපාමනාපධර්‍මයන්හි ඔහුගේ කය සිටියේ මැ වෙයි, සිත... සුවිමුක්ත වෙයි. ඇසින් රූපයක් දැක ඇලුම් කටයුතු වස්තුවෙහි නො ඇලෙයි, ද්වේෂ ඉපදවියැ යුත්තෙහි ද්වේෂය නූපදවයි, මුළාවියැ යුත්තෙහි මුළා නො වෙයි, කිපියැ යුත්තෙහි නො කිපෙයි, කෙලෙසියැ යුත්තෙහි නො කෙලෙසෙයි, මත්වියැ යුත්තෙහි නො මත් වෙයි. කනින් ශබ්දයක් අසා... මනසින් ධර්‍මයක් දැන රජනීය වස්තුවෙහි නො ඇලෙයි, දොසනීයයෙහි - මොහනීයයෙහි - කොපනීයයෙහි - කිලෙසනීයයෙහි - මදනීය වස්තුවෙහි නො මත් වෙයි. රූපාලම්බනයෙහි (චක්‍ෂුර්විඥානයෙන්) දුටු පමණ වූයේ ශබ්දායතනයෙහි ශ්‍රැතමාත්‍ර වූයේ මුතාලම්බනයෙහි මුත (-පැමිණ ගන්නා ලද) මාත්‍ර වූයේ ධම්මාරම්මණයෙහි විඥානමාත්‍ර වූයේ වෙයි; චක්‍ෂුර් විඥානයෙන් දුටු) රූපාරම්මණයෙහි (තෘෂ්ණාදෘෂ්ටිලෙපයෙන්) නො ඇලෙයි, ශබ්දාලම්බනයෙහි නො ඇලෙයි, ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි නො ඇලෙයි, ධර්‍මාලම්බනයෙහි නො ඇලෙයි; රූපාලම්බනයෙහි තෘෂ්ණා නැත්තේ දූෂ්‍ය නො වූයේ අනිඃශ්‍රිත වූයේ නො බැඳුණේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වෙසෙයි, ශ්‍රැතයෙහි - මුතයෙහි - විඥාතයෙහි තෘෂ්ණා නැත්තේ... විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වෙසෙයි.
රහත්හට ඇස ලැබෙයි, රහත් තෙම ඇසින් රූප දකී, ඡන්‍දරාගයෙක් රහත් හට නැත, රහත් තෙම වෙසෙසින් මිදුණු සිත් ඇත්තේ ය. රහත්හට ශ්‍රෝතප්‍රසාදය ලැබෙයි, රහත් තෙම කනින් ශබ්ද අසයි, ඡන්‍දරාගය රහත් හට නැත, රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. රහත් හට ඝ්‍රාණය - රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. ජිහ්වාප්‍රසාදය - කායප්‍රසාදය - රහත් හට මනස ලැබෙයි, රහත් තෙම මනසින් ධර්‍මය දැනගනී, ඡන්‍දරාගය රහත් හට නැත, රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. ඇස රූපාරාම යැ, රූපයෙහි ඇලුණේ යැ, රූපයෙහි සතුටු වූයේ යැ, එය රහත්හු විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නා ලද, සංවර කරන ලද, යළි ඒ ඇස සංවර පිණිස දහම් දෙසයි. කන ශබ්දාරාම යැ... නැහැය ගන්‍ධාරාම යැ - දිව රසාරාම යැ - කය ස්ප්‍රෂ්ටව්‍යාරාම යැ - මනස ධර්‍මය ඇලුම් කොට ඇත්තේ යැ, ධර්‍මරත යැ ධර්‍මයෙහි සතුටු වූයේ යැ. ඒ මනස රහත්හු විසින් දන්ත යැ ගුප්ත යැ රක්‍ෂිත යැ සංවෘත යි, ඒ මනස සංවර පිණිස දහම් දෙසයි.