10. 7.
යමෙක් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මේ ද, අලාභයෙහිත් නො කිපේ ද, (විරෝධ නැත්තෙන්) අවිරොධ වේ ද, තෘෂ්ණාවෙන් රසයෙහි ගේධය (-ගිජුබව)ට නො පැමිණේ ද; (ඔහු උපශාන්ත යයි කියමි.)
ලාභකම්‍යා න සික්ඛති අලාභෙ ච න කුප්පති - කිසෙයින් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මේ ද යත්? ‘මේ සස්නෙහි මහණෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත් පිරිකර ලබනසුලු මහණක්හු දකී. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් තෙම කවර කරුණෙකින් සිවුරු... බෙහෙත්පිරිකර ලබනසුලු දැ’යි; ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් සෞත්‍රාන්තික යැ, එයින් මේ ආයුෂ්මත් සිවුරු... බෙහෙත් පිරිකර ලබන සුලු’යැයි. හෙතෙම ලාභ හේතුයෙන් ලාභ නිසා ලාභ කරුණෙන් ලාභ නිපදවනු පිණිස ලාභය උපද වන්නේ සූත්‍රාන්තය පුහුණු කරයි; මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මෙයි. නොහොත් මහණෙක් සිවුරු... බෙහෙත් පිරිකර ලබනසුලු මහණක්හු දකී. ඔහුට මේ සිත වෙයි: ‘කුමකින් මේ ආයුෂ්මත් සිවුරු... ලබනසුලු වේ දැ’යි. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් විනයධර යැ... ධර්‍මකථික යැ, එහෙයින් මේ ආයුෂ්මත්... ලබනසුලු වේ ය’යි. හෙතෙම ලාභ හේතුයෙන්... ලාභය උපදවනුයේ අභිධර්‍මය පුහුණු කරයි; මෙසේ ලාභ කැමැත්තෙන් හික්මෙයි. නොහොත් මහණෙක් චීවර... ලාභී වූ මහණක්හු දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘කුමක් හෙයින් මේ ආයුෂ්මත් චීවර...ලබනසුලු වේ දැ’යි. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් වූ කලි ආරණ්‍යක යැ - පිණ්ඩපාතික යැ - පංසුකූලික යැ - තෙචීවරික යැ - සපදානචාරික යැ - ඛලුපච්ඡාභත්තික යැ - නෙසජ්ජික යැ - යථාසන්‍ථතික යැ. එයින් මේ ආයුෂ්මත් තෙම චීවර... පරිෂ්කාරයන් ලබනසුලු වේ ය’යි. හෙතෙම ලාභ හේතුවෙන්... ලාභය උපදවනුයේ ආරණ්‍යක වෙයි... යථාසන්ත්‍ථතික වේ. මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මෙයි.
කිසෙයින් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මේ ද යත්? මෙ සස්නෙහි මහණ තෙම ලාභ හේතුයෙන් නො වැ ලාභය නො නිසා ලාභකරුණෙන් නො වැ ලාභ නූපදවනු පිණිස ලාභය නො නිපදවනුයේ යම්තාක් ආත්මදමනය පිණිස ආත්මසමාධානය පිණිස ආත්මපරිනිර්‍වාණය පිණිස සූත්‍රාන්තය- විනය - අභිධර්‍මය පුහුණු කෙරෙයි. මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මෙයි. නොහොත් මහණ තෙම ලාභ හේතුවෙන් නො වැ... ලාභය නො නිපදවනුයේ යම්තාක් අපිස්බව ම නිසා සතොස්බව ම නිසා කෙලෙස් නැසීම ම නිසා උත්තමවිවේකය ම නිසා මේ කුශලධර්‍මයන්ගෙන් ප්‍රයෝජන ඇතිබව ම නිසා ආරණ්‍යක වෙයි,පිණ්ඩපාතික...යථාසන්‍ථතික වෙයි. මෙසේත් ලාභකාම්‍යයෙන් නො හික්මේ නුයි - ‘ලාභකම්‍යා න සික්ඛති’ යනු වේ.
අලාභෙ ච න කුප්පති - කිසෙයින් අලාභයෙහි කිපේ ද යත්? මෙහි එකෙක් ‘කුලය හෝ නො ලබමි, ගණයා හෝ - ආවාසය හෝ - ලාභය හෝ - යශස් හෝ - පැසැසුම් හෝ - සුව හෝ නො ලබමි, සිවුරු හෝ - පිණ්ඩපාත - සෙනසුන් - ගිලන්පසබෙහෙත්පිරිකර හෝ නො ලබමි ගිලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ කිපෙයි’, ව්‍යාපාදයට පැමිණෙයි, තදබවට පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි; මෙසේ අලාභයෙහි කිපෙයි. කිසෙයින් අලාභයෙහි නො කිපේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම ‘කුලය හෝ නො ලබමි, ගණයා හෝ නො ලබමි... නො පැනෙනුයෙම් වෙමී’ නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තදබවට නො පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මෙසේ අලාභයෙහි දු නො කිපේ නුයි ‘ලාභකම්‍යා න සික්ඛති අලාභෙ ච න කුප්පති’ යනු වේ.
අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣති - ‘විරුද්ධො’ යනු: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කිපීමෙක් ප්‍රකොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රොධාකාරයෙක් ක්‍රෝධ වූ බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපාදාකාරයෙක් ව්‍යාපාදයට පැමිණි බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් චණ්ඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් සිතෙහි නො සතුටු බවෙක් වේ ද, මේ ‘විරෝධ’යයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල විරෝධය ප්‍රහීණ කරන ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද අභව්‍යොත්පත්තික වූයේ ද ඥානාග්නීන් දග්ධ ද, හෙතෙම ‘අවිරුද්ධ’ යයි කියනු ලැබේ. තණ්හා යනු: රූපතණ්හා යැ සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බ - ධම්මතණ්හා යැ; රස නම්: මුල්රස යැ කඳෙහි රස යැ පොතුරස යැ පත්රස යැ මල්රස යැ පලරස යැ ඇඹුලැ මිහිරැ තිත්ත යැ කුළු යැ ලුණුරස යැ කරරස යැ ලපිල - (නො කසටරස) යැ කසටරස යැ මිහිරි යැ නො මිහිරි යැ සිහිල් රස යැ හුණුරස යි; රසයෙහි ගිජු වූ මහණ බමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු දිවගින් අග්‍රරස සොයමින් ඇවිදිති: ඔහු ඇඹුලක් ලැබ නො ඇඹුලක් සොයති, නො ඇඹුලක් ලැබ ඇඹුල් සොයති, මිහිරක් ලැබ අමිහිරි දෑ සොයති, අමිහිරක් ලැබ මිහිරි දෑ සොයති, තිත්ත දැයක් ලැබ නො තිත්ත දෑ සොයති, නො තිත්ත දෑ ලැබ තිත්ත දෑ සොයති, කුළු දෑ ලැබ නො කුළු දෑ සොයති, නො කුළු දෑ ලැබ කුළු දැයක් සොයති, ලුණක් ලැබ ලුණු නැත්තක් සොයති, ලුණුනැති දෑ ලැබ ලුණු ඇති දෑ සොයති.