10. 6.
(යමක් හට) පස්කම්ගුණයෙහි තෘෂ්ණාව නො පවතී ද, (යමෙක්) අතිමානයෙහි නො යෙදුණේත් වේ ද, සිනිඳු වූ කායකර්මාදියෙන් යුක්ත ද, ප්රතිභානයෙන් සමන්විත වූයේ ද, (පරප්රත්යයෙන්) නො හදහා ද, (වීතරාග හෙයින්) නො රඳනේ ත් වේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)
සාතියෙසු අනස්සාවී - ‘සාතියා’යී පස්කම් ගුණයෝ කියනු ලැබෙත්. කුමක් හෙයින් පස්කම්ගුණයෝ ‘සාතියා’යී කියනු ලැබෙත් ද යත්? බොහෝ සෙයින් දෙවිමිනිස්හු පස් කම්ගුණයන් ආශා කෙරෙති, ඉවසති පතති කැමැති වෙති අභිජල්පන කෙරෙත්; එ කරුණෙන් පස් කම්ගුණයෝ ‘සාතිය’යී කියනු ලැබෙති. යම් කෙනකුන්ට මෝ පඤ්චකාමගුණයෙහි තෘෂ්ණාව අප්රහීණ වූවා ද, ඔවුන්ට චක්ෂුර්ද්වාරයෙහි (ජවනසම්ප්රයුක්ත) රූපාලම්බනතෘෂ්ණාව උපදී, හාත්පසින් උපදී, ගලයි, පවතී. ශ්රොත්රද්වාරයෙහි ශබ්දතෘෂ්ණාව - ඝ්රාණද්වාරයෙහි ගන්ධතෘෂ්ණාව - ජිහ්වාද්වාරයෙහි රසතෘෂ්ණාව - කායද්වාරයෙහි ස්ප්රෂ්ටව්යතෘෂ්ණාව - මනෝද්වාරයෙහි ධර්මතෘෂ්ණාව උපදී, හාත්පසින් උපදී, ගලයි පවතී; යම් කෙනකුන් විසින් මෝ පඤ්චකාමගුණ තෘෂ්ණාව ප්රහීණකරන ලද්දී සිඳින ලද්දී සන්හිඳුණි දුරලන ලද්දී අභව්යොත්පත්තික වූවා ඥානාග්නීන් දවන ලද්දී ද, ඔවුන්ට චක්ෂුර්ද්වාරයෙහි රූපතෘෂ්ණාව නූපදී - ශ්රොත්රද්වාරයෙහි ශබ්දතෘෂ්ණාව... මනෝද්වාරයෙහි ධර්මතෘෂ්ණාව නූපදී, හාත්පසින් නූපදී, නො ගලයි, නො පවතීනුයි ‘සාතියෙසු අනස්සාවී’ යනු වේ.
අතිමානෙ ච නො යුතො - අතිමානය කවරැ යත්? මෙහි එකෙක් ජාතියෙන් හෝ ගෝත්රයෙන් හෝ... එක්තරා කරුණකින් හෝ මෙරමා ඉක්මැ සිතයි; මෙබඳු යම් මානයෙක් මාන කරන අයුරෙක් මාන කරන බවෙක් උන්නතියෙක් නඟා තැබීමෙක් මානධ්වජයෙක් දැඩිව ගැනීමෙක් චිත්තයාගේ කෙතුකම්යතාවක් වේ ද, මේ අතිමාන යයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල අතිමාන ප්රහීණ කරන ලද්දේ... නුවණගින්නෙන් දවන ලද්දේ ද, හෙතෙම අතිමානයෙහි ද නො යෙදුණේ යුක්ත නො වූයේ ප්රයුක්ත නො වූයේ හාත්පසින් නො යෙදුණේ නුයි ‘අතිමානෙ ච නො යුතො’ යනු වේ.
සණ්හො ච පටිභානවා - ‘සණ්හො’ යනු: මෘදු වූ කායකර්මයෙන් යුක්ත වූයේ නුයි ‘සණ්හ’යැ මෘදු වූ වාක්කර්මයෙන් - මෘදු වූ මනඃකර්මයෙන් - මෘදු වූ සතිපට්ඨානයන් ගෙන් - මෘදු වූ සම්යක්ප්රධානයන් ගෙන් - ඍද්ධිපාදයන්ගෙන් ඉන්ද්රියයන් ගෙන් බලයන් ගෙන් - බෝධ්යඞ්ගයන් ගෙන් - මෘදු වූ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගයෙන් සමන්විත වූයේ නුයි ‘සණ්හ’ යැ; පටිභානවා - පර්ය්යාප්තිප්රතිභානවත් යැ, පරිපෘච්ඡාප්රතිභානවත් යැ, අධිගමප්රතිභානවත් යැයි ප්රතිභානවත්හු තිදෙනෙක් වෙති: කවරෙක් පර්ය්යාප්තිප්රතිභානවත් ද යත්? මේ සස්නෙහි එකක්හු විසින් සුත්ත යැ ගෙය්ය - වෙය්යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම - වෙදල්ල යැ (යන නවාඞ්ගය) පියවින් මැ පුහුණු කරන ලද වෙයි, ඔහුට පර්ය්යාප්තිය නිසා ඥානය අභිමුඛ වෙයි; මේ පර්ය්යාප්තිප්රතිභානවත් යැ. කවරෙක් පරිපෘච්ඡාප්රතිභානවත් වේ ද යත්? මේ සස්නෙහි එකෙක් ආත්මාර්ත්ථයන් ද න්යායාර්ත්ථයන් ද ලක්ෂණයන් ද කාරණයන් ද ස්ථානාස්ථානයන් ද පුළුවුස්නේ වෙයි, ඔහුට ඒ පිළිවිසීම නිසා ඥානය අභිමුඛ වෙයි, මේ තෙම පරිපෘච්ඡාප්රතිභානවත් යැ. කවරෙක් අධිගමප්රතිභානවත් වේ ද යත්? මේ සස්නෙහි එකක්හු විසින් සතර සතිපට්ඨානයෝ අධිගත වූවාහු වෙති, සතර සම්යක්ප්රධානයෝ - සතර ඍද්ධිපාදයෝ - පඤ්චේන්ද්රියයෝ - පඤ්ච බලයෝ - සප්ත බෝධ්යඞ්ගයෝ - ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය - සතර ආර්ය්යමාර්ගයෝ - සතර ශ්රාමණ්යඵලයෝ - සතර ප්රතිසංවිද්හු - ෂඩ්භිඥාවෝ අධිගත වූවාහු වෙත්. ඔහු විසින් අර්ත්ථය දන්නා ලද, ධර්මය දන්නා ලද, නිරුක්තිය දන්නා ලදු. අර්ත්ථ (- හේතුඵල)ය ප්රකට වූ කල්හි අර්ත්ථය නුවණට අභිමුඛ වෙයි, ධර්ම (-ප්රත්යය)ය ප්රකට වූ කල්හි ධර්මය නුවණට අභිමුඛ වෙයි, නිරුක්තිය ප්රකට වූ කල්හි නිරුක්තිය නුවණට අභිමුඛ වෙයි, මේ ත්රිවිධඥානයෙහි ප්රභෙදගත වූ ඥානය ‘පටිභානපටිසම්භිදා’ නමු, මේ පටිභානපටිසම්භිදායෙන් උපේත සමුපේත උපාගත සමුපාගත උප්පන්න සමුප්පන්න සමන්වාගත වෙයි, හේ ‘ප්රතිභානවත්’යයි කියනු ලැබෙයි. යමක් හට පර්ය්යාප්තිය නැත් නම්, පරිපෘච්ඡාව නැත් නම්, අධිගමය නැත් නම්, ඔහුට කුමක් වැටහෙන්නේ දැ’යි ‘සණ්හො ච පටිභානවා’ යනු වේ.