10. 5.
යමෙක් රාගාදිය ප්‍රහීණ කෙළේ කුහක නො වූයේ තෘෂ්ණා රහිත වූයේ නො මසුරු වූයේ කායාදි ප්‍රගල්භ රහිත වූයේ ජුගුප්සා නො කටයුතු වූයේ පිසුනු කීමෙහි නො යෙදුණේ ත් වේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)
පතිලීනො අකුහකො - ‘පතිලීනො’ යනු: රාගය ප්‍රහීණ කළ බැවින් ‘පතිලීන’ යැ, ද්වේෂය - මෝහය ප්‍රහීණ කළ බැවින් - ක්‍රෝධය - උපනාහය - මකුබව - යුගග්‍රාහය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය... සියලු අකුශලාභිසංස්කාරයන් ප්‍රහීණ කළ බැවින් ‘පතිලීන’ යැ; මේ වදාරන ලද මැය, භාග්‍යවතුන් විසින්: ‘කෙසේ නම් මහණෙනි, මහණ තෙමේ පතිලීන වේ ද? මහණෙනි, මේ මහණහුගේ අස්මිමානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ තාල වස්තුවක් මෙන් කරන ලද්දේ අනභාවය කරන ලද්දේ මතු නූපදනා පියවි ඇත්තේ වෙයි. මෙසේ මහණෙනි, මහණ පතිලීන වේ යැ”යි ‘පතිලීනො’ යනු වේ.
අකුහකො - කුහනවස්තු තුනෙකි ප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහන වස්තුව යැ ඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ සාමන්තජල්පනසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැයි.
ප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්? මෙහි ගැහැවියෝ මහණක් හට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකරින් පවරති, හෙතෙම පාපේච්ඡ වූයේ ආශායෙන් මඩනා ලදුයේ සිවුරු... බෙහෙත් පිරිකර කැමැති වූයේ බොහෝ කැමැති බව නිසා චීවරය ප්‍රතික්‍ෂේප කරයි. පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙත්පිරිකර ප්‍රතික්‍ෂේප කරයි. හේ මෙසේ කියයි: ‘මහණහට මාහැඟි සිවුරෙන් කිම? යම් හෙයකින් මහණ තෙමේ සොහොනින් හෝ කසළගොඩින් හෝ අවුණු දොරින් හෝ රෙදිකැබැලි රැස් කොට සඟළ කොට දරන්නේ නම් තෙල සරුප් වෙයි; මහණ හට මාහැඟි පිණ්ඩපාතයෙන් කිම? යම් හෙයකින් මහණ සිඟා හැසිරීමෙන් පිණ්ඩපාතයෙන් ලද ආලොපයෙන් ජීවිකාව කරන්නේ නම්, තෙල සරුප් වෙයි. මහණ හට මාහැඟි සෙනස්නෙන් කිම? යම් හෙයකින් මහණ රුක්ඛමූලික හෝ සෝසානික හෝ අබ්හොකාසික හෝ වන්නේ නම්, තෙල සරුප් වෙයි. මහණ හට මාහැඟි ගිලන්පසබෙහෙත්පිරිකරින් කිම? යම් හෙයකින් මහණ පූතිමූත්‍රයෙන් හෝ අරළුකඩෙකින් හෝ බෙහෙත් කරන්නේ නම්, තෙල සරුප් යැයි. එතැන් පටන් රළු සිවුරු දරයි, රළු පිණ්ඩපාතය වළඳයි, රළු සෙනසුන් ඇසුරු කරයි, රළු ගිලන්පසබෙහෙත්පිරිකර සේවනය කරයි. ගෘහපතියෝ ඔහු මෙසේ දැනගනිති: ‘මේ මහණ අල්පෙච්ඡ යැ, සන්තුෂ්ට යැ ‘ප්‍රවිවික්ත යැ’ අසංසෘෂ්ට යැ, ආරබ්ධවීර්‍ය්‍ය යැ, ධූතවාද යැ’යි චීවර... බෙහෙත්පිරිකරින් මතුමත්තෙහි පවරත්. හෙතෙම මෙසේ කියයි: “තිදෙනකුන්ගේ සම්මුඛ භාවයෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍ර තෙමේ බොහෝ පින් රැස් කරයි: ශ්‍රද්ධාව හමු වීමෙන් සැදැහැති කුලපුත් තෙම බොහෝ පින් රැස් කරයි, දෙය්‍යධර්‍මය ඉදිරිපත් වීමෙන්... ප්‍රතිග්‍රාහකයන් සම්මුඛ වීමෙන් සැදැහැවත් කුලපුත්‍ර තෙම බොහෝ පින් රැස් කරයි; තොපට වැලිත් මෝ ශ්‍රද්ධාව ඇත් මැය, දෙය්‍යධර්‍මය ද විද්‍යමාන වෙයි, මම ද ප්‍රතිග්‍රාහක වෙමි; ඉදින් මම් නො පිළිගනිම් නම්, මෙසේ කල්හි තෙපි පිනින් පරිබාහිර වන්නහුය, මට මෙයින් ප්‍රයෝජනයෙක් නැත, තොපට මැ අනුකම්පා පිණිස පිළිගනිමි”යි එතැන් පටන් බොහෝ සිවුරුත් පිළිගනී, බොහෝ පිණ්ඩපාතයත් - බොහෝ සෙනාසනත් - බොහෝ ගිලන්පසබෙහෙත්පිරිකරත් පිළිගනී. මෙබඳු වූ යම් මුහුණ හැකිළීමෙක් මුහුණ හකුළුවන සුලු බවෙක් විස්මය කරවීමෙක් කුහනාකාරයෙක් කුහිත (-කොහොන්) බවෙක් වේ ද, මේ ප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහනවස්තු යැ.