10. 3.
යමෙක් නො කිපෙන පියවි ඇතියේ නො තැතිගන්නා සුලු වූයේ තමා හුවා නො දක්වන සුලු වූයේ කුකුස් රහිත වූයේ නුවණින් විමසා බණනු යේ උඩඟු නො වූයේ වේ ද ඒ ක්ෂීණාස්රව මුනි තෙම ඒකාන්තයෙන් වචනයෙන් සංයම වූයේ වේ. (ඔහු උපශාන්ත යයි කියමි.)
අක්කොධනො අසන්තාසී - ‘අක්කොධනො’ යී මැ කියන ලද, තවද පළමු කොට ක්රෝධය කියයුතු යැ: දස අයුරෙකින් ක්රෝධය උපදී: ‘මට අවැඩ කෙළේ යැ’යි ක්රෝධය උපදී, ‘මට අවැඩ කෙරේ යැයි - ‘මට අවැඩ කරන්නේ’යි ක්රෝධය උපදී: ‘මාගේ ප්රිය මනාප වූවහුට අවැඩ කෙළේයැ අවැඩ කරයි - අවැඩ කරන්නේ යැ’යි ක්රෝධය උපදී; ‘මා ගේ අප්රිය අමනාප වූවහුට වැඩ කෙළේයැ - වැඩ කරයි - වැඩ කරන්නේයැ’යි ක්රෝධය උපදී; යළි අස්ථානයෙහි හෝ ක්රෝධය උපදී, යම් මෙබඳු වූ චිත්තයා ගේ ආඝාතයෙක් ප්රතිඝාතයෙක් ප්රතිඝයෙක් ප්රතිවිරොධයෙක් කොපයෙක් ප්රකොපයෙක් සම්ප්රකෝපයෙක් ද්වේෂයෙක් ප්රද්වෙෂයෙක් සම්ප්රද්වෙෂයෙක් සිත පෙරැළීමෙක් සිත දූෂ්ය වීමෙක් ක්රෝධයෙක් ක්රොධාකාරයෙක් ක්රෝධ කරන බවෙක් ද්වේෂයෙක් දූෂ්යාකාරයෙක් දූෂ්යවන බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරළුණු බවෙක් විරෝධයෙක් ප්රතිවිරොධයෙක් සැඬබවෙක් නො පිරුණු බසෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ක්රෝධ යයි කියනු ලැබේ.
තවද, ක්රෝධයාගේ අඩුවැඩි බව දතයුතු යැ: කිසිවිටෙක ක්රෝධ තෙමේ සිත කළඹන මතුයෙක් වෙයි, තව මුහුණ කුළනු හකුළනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය මුහුණ කුළන හකුළන පමණ වූයේ වෙයි, තව හනු සොලවනු වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය හනු සොලවනුයේ වෙයි, තව පරොස්බස් කියන පමණ වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය පරොස්බස් කියන පමණ වෙයි, තවම වට පිට බලනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය වට පිට බලන පමණ වූයේ වෙයි, තවම දඬු සැත් නො ද ගන්නේ වෙයි; කිසිවිටෙක කෝපය දඬු සැත් ගන්නා පමණ වූයේ වෙයි, තවම දඬු සැත් නඟනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් කියපාන (-නඟන) පමණ වූයේ වෙයි, තවම දඬු සැත් දමාගසනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය දඬුසැත් දමාගසන පමණ වූයේ වෙයි, තවම (මෙරමා සිරුර) සිදුරු කරනු වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය සිරුර සිදුරු බිදුරු කරන පමණ වූයේ වෙයි, තවම සිරුර සුණු විසුණු කරනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය සිරුර සුණු විසුණු කරන පමණ වූයේ වෙයි. තවම අඟපසඟ ඇද කඩනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය අඟපසඟ ඇද කඩන පමණ වූයේ වෙයි, තවම දිවි තොර කරනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය දිවි තොර කරන පමණ වූයේ වෙයි, තවම මෙරමා දිවි නසා සිය දිවි නැසීම පිණිස සිටියේ නො ද වෙයි; යම් කලෙක ක්රෝධය සතුරා නසා තමා ත් නසා ද, මෙතෙකින් ක්රෝධ තෙමේ ඉතා බලවත් බවට ගියේ ඉතා මහත් බවට පැමිණියේ වේ.
යමක්හු විසින් ඒ ක්රෝධය ප්රහීණ වූයේ නසන ලද්දේ සන්හිඳුණේ දුරලන ලද්දේ අභව්යොත්පත්තික වූයේ නුවණගින්නෙන් දවන ලද්දේ වේ ද, හෙ තෙම ‘අක්කෝධන’ යී කියනු ලැබේ. ක්රෝධය (අනගැමිමගින්) ප්රහීණ කළ බැවින් නො කිපෙනුයේ යැ; ක්රොධවස්තුව පරිඥාත බැවින් නො කිපෙනුයේ යැ; ක්රෝධ හේතුව සිඳින ලද බැවින් නො කිපෙනුයේ නුයි ‘අක්කෝධන’ වේ. අසන්තාසී - මෙ ලොවැ කිසිවෙක් බියසුලු වෙයි, ඉතා බියසුලු වෙයි, හාත්පසින් බියසුලු වේ. හේ ත්රස්ත වෙයි, ඉතා ත්රස්ත වෙයි, හාත්පසින් ත්රස්ත වෙයි, බියට පැමිණෙයි, සන්ත්රාසයට පැමිණෙයි: කුලය හෝ නො ලබමි, ගණයා හෝ - ආවාසය - ලාභ - යශස් - පැසැසුම් - සුව - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙත්පිරිකර - ග්ලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ ත්රස්ත වෙයි, ඉතා ත්රස්ත වෙයි, හාත්පසින් ත්රස්ත වෙයි; තැති ගැනීමට පැමිණේ. මේ ශාසනයෙහි මහණ තෙම බියසුලු නො වෙයි, ඉතා බියසුලු නො වෙයි, හාත්පසින් බියසුලු නො වෙයි. හෙ තෙම ත්රස්ත - උත්රස්ත - පරිත්රස්ත - නො වෙයි, භය නො වෙයි, සන්ත්රාසයට නො පැමිණෙයි: ‘කුලය හෝ නො ලබමි, ගණයා - ආවාසය - ලාභ - යශස් - ප්රශංසා - සුඛ - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙත්පිරිකර - ග්ලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ ත්රස්ත - උත්රස්ත - පරිත්රස්ත නො වෙයි, භය නො වෙයි, සන්ත්රාසයට නො පැමිණේ නුයි ‘අක්කොධනො අසන්තාසී’ යනු වේ.
අවිකත්ථි අකුක්කුචො - මෙ ලොවැ කිසිවෙක් සිය ගුණය කියන සුලු වූයේ විවිධාකාරයෙන් ගුණ කියනසුලු වූයේ වෙයි; හෙතෙම කත්ථන විකත්ථන කෙරෙයි: ‘මම් ශීලසම්පන්නයෙමී’ හෝ ‘ව්රතසම්පන්නයෙමී’ හෝ ශීලව්රතසම්පන්නයෙමී’ හෝ ජාතියෙන් හෝ ගෝත්රයෙන් - කුලපුත්රභාවයෙන් - වර්ණසෞන්දර්ය්යයෙන් - ධනයෙන් - අධ්යයනයෙන් - කර්මායතනයෙන් හෝ ශිල්පායතනයෙන් හෝ විද්යාවෙන් හෝ ශ්රැතයෙන් හෝ ප්රතිභානයෙන් හෝ එක්තරා වස්තුවකින් හෝ, උසස් කුලයෙන් (නික්ම) පැවිදි වූයෙමී හෝ මහාසාරකුලයෙන් පැවිදි වූයෙමී හෝ මහාභෝග ඇති කුලයෙන් පැවිදි වූයෙමී හෝ බොහෝ සම්පත් ඇති කුලයෙන් පැවිදි වූයෙමී හෝ ගැහැවියන් සහිත පැවිද්දන් අතුරෙහි ප්රසිද්ධයෙමි පිරිවර ඇත්තෙමි හෝ චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත්පිරිකර ලබන සුලු වෙමී හෝ සෞත්රාන්තිකයෙමි - විනයධරයෙමි - ධර්මකථිකයෙමී හෝ ආරණ්යකාඞ්ග ඇත්තෙමි හෝ පිණ්ඩපාතික - පාංශුකූලික - ත්රෛචීවරික - සපදානචාරික - ඛලුපච්ඡාහත්තික - නෙසජ්ජික - යථාසන්ථතිකාඞ්ග ඇත්තෙමි හෝ, ප්රථමධ්යානලාභී වෙමී හෝ ද්විතීයධ්යාන - තෘතීයධ්යාන - චතුර්ත්ථධ්යාන ලාභී වෙමී හෝ, ආකාසානඤ්චායතනසමාපත්තිය විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය නෙවසඤ්ඤානාසඤ්ඤාසමාපත්තිලාභී වෙමී’ හෝ කත්ථන විකත්ථන කෙරෙයි; මෙසේ කත්ථන විකත්ථන නො කෙරෙයි, කත්ථනයෙන් විකත්ථනයෙන් (-ආත්මශලාඝායෙන්) දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්ය්යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘අවිකත්ථි’ යනු වේ.